අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිළුමිණ හා රැස පුවත්පත්හි ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් මහතාගේ අභාවය පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ශෝක පණිවුඩය

    ජූලි 03, 2018

    ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක මංපෙත් විවරකර ගැනීමට ඉතා කෙටි කලක් ඇතුළත සමත්කම් පෑ චාමර ලක්ෂාන් නම් වූ තරුණ මාධ්‍යවේදියා දැයෙන් සමුගැනීම, හෙට දවස ගැන යහපත් බලාපොරොත්තුවක් ඇති මේ රටේ සෑම පුද්ගලයකුගේම හදවත් කම්පා කරවනු නිසැකය.

    ලක්බිම, ඉරුදින, රිවිර පුවත්පත් තුළ සේවයට එක්වෙමින්, සිය දැක්ම සහ ජීව ගුණය ඔප්නැංවා ගැනීම වෙනුවෙන් එකී සේවාස්ථාන ගුරු විදුහලක් බවට පත්කර ගැනීමට මෙම අධිෂ්ඨානශීලී තරුණයා සමත් වී ඇති අයුරු පසුකාලයේ ඔහුගේ මාධ්‍ය භාවිතාව සපථ කරයි.

    2015ට පෙර පැවැති දුර්දාන්ත පාලක රෙජිමයේ භීම පාලනයට එරෙහිව අභීතව නැගීසිටි මාධ්‍යවේදී අතලොස්ස අතරේ තරුණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන්, දැක්මක් සහිත සිය අභිප්‍රාය සඵල කරගැනීමේ අරමුණින් නොබියව සිය තෙලිතුඩ හැසිරවීය. එසේම යහපාලන ආණ්ඩුව පත්කිරීම සඳහා පමණක් නොව එහි ගමන් මගේ නිවැරදි දිශානතිය වෙනුවෙන් ද දැඩි වගවීමකින් කටයුතු කළේය. “දිනමිණ“ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයෙකු වශයෙන් ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදරට පියනැගූ ලක්ෂාන් මහතා ඉතා කෙටි කාලයක් තුළ ලේක්හවුස් ගමන්මගට නව පිටුවක් විවර කරලීමට මහත් පරිශ්‍රමයකින් හා කැපවීමකින් කටයුතු කළේය.

    “රැස“ දිනපතා පුවත්පත ආරම්භ වන්නේ, ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ රටේ තරුණ පරම්පරාව අතර ඉතා කෙටි කළක් තුළ මහත් ප්‍රසාදයක් අත්පත් කර ගැනීමට ලක්ෂාන් මහතාගේ කර්තෘත්වයෙන් යුත් “රැස“ පුවත්පතට හැකි වූ බව නොරහසකි.

    “සිළුමිණ“ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය හිමි කරගත් ලාබාලතම කතුවරයා වූ චාමර ලක්ෂාන් තරුණ මහතා අතීතයේ සුප්‍රසිද්ධ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී දැවැන්තයන්ගේ නම් ලැයිස්තුවට සිය නම ද එක්කර ගැනීමට සමත් වීම ඔහුගේ දැඩි උත්සාහයේ සහ කැපවීමේ මහඟු ඵලයකි. “සිළුමිණ“ට ආවේනික වූ සමාජ, සංස්කෘතික සහ දේශපාලනයේ හැඩතල විවරණයන්ට හානියක් නොවන සේ එහි අනාගතය වෙනුවෙන් නවීනත්වය ඈඳා ගැනීමට දැරූ පරිශ්‍රමය ප්‍රසංසනීය බව සිහිපත් කරමු.

    දේශපාලන විචාරකයකු, පරිණත මාධ්‍යවේදියකු වූ චාමර ලක්ෂාන් තරුණ මාධ්‍යවේදියාගේ හදිසි වියෝවීම මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මුළුමහත් සමාජයටම දැරිය නොහැකි බරපතල පාඩුවකි.

    ඡවයෙන් පිරි අභීත මාධ්‍යවේදියාගේ හදිසි වියෝවෙන් ශෝකයට පත් පවුලේ සැමට, ඥාති හිතමිතුරන්ට මාගේ බලවත් සංවේගය පළ කරමි. ‘සැතපුම් දහස් ගණනක දිගු ගමණක් ආරම්භ කරන්නේ එක් තනි පියවරකිනි.’ යන වියමන සිය ජීවිතයේ ආත්ම භාවිතය කරගත් චාමර, ඔබට මාගේ හෘදයාංගම ආචාරය!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya