Print this page

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය” ජනපති ප්‍රධානත්වයෙන් සිකුරාදා ආරම්භ වෙයි Featured

ජූනි 21, 2018

ශ්‍රී ලංකාව ව්‍යාවසායකයන්ගේ පාරාදීයක් බවට පත් කිරීමේ අරමුණින් 2018 අයවැය මගින් යෝජිත “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව පාරාදීසය ණය යෝජනා ක්‍රමය” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (22) පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනයෙන් සිදු කෙරෙන මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණ හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද සහභාගී වේ.


මේ යටතේ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක්, විදේශ ආධාර මත ක්‍රියාත්මක ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 3ක් සහ මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක ය. සම්මත බැංකු පොලියට වඩා අඩු පොලියක් යටතේ ලබා දෙනු ලබන මෙම ණ්‍ය මුදල ලබා ගන්නන් විසින් ගෙවිය යුතු පොලියේ ඉතිරි කොටස රජය මගින් අදාළ බැංකු වෙත ගෙවනු ලැබේ. ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 5,250ක මුදලක් වෙන් කර ඇත. මෙම මුදල උපයෝගී කරගනිමින් ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් සිදු කළ හැකි වෙතයි අපේක්ෂා කෙරේ. උත්පාදනය කිරීමට අපේක්ෂිත නව රැකියා අවස්ථා සංඛ්‍යාව 50,000ක් පමණ වේ.


මෙසේ සහන පොලී මත ලබා දෙනු ලබන ණය යෝජනා ක්‍රම සහ වැඩසටහන් පිළිබඳ විස්තර පහත දැක්වේ.


1. රන් අස්වැන්න -


මහා පරිමාණ ගොවිපොළ ආරම්භ කිරීම ඇතුළු කෘෂිකර්මාන්තයේ ඵලදායීතා ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක සහන ණය යෝජනා ක්‍රමයකි. 6.75% පොලීය යටතේ රුපියල් මිලියන 750ක් දක්වා ණය ලබා දෙනු ලැබේ.

2. ගොවි නවෝදා -

 

කෘෂි යන්ත්‍ර සූත්‍ර භාවිත දිරි ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක සහන ණය යෝජනා ක්‍රමයකි. 3.38%ක පොලීය යටතේ රුපියල් ලක්ෂ 5ක මුදලක් දක්වා ණය ලබා දෙනු ලැබේ.


3. රිය ශක්ති -


පාසල් ප්‍රවාහන වෑන් රථ වෙනුවට අවම ආසන 28ක් සහිත බස් රථ ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක සහන පොලී ණය යෝජනා ක්‍රමයකි. 3.38%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 40ක් දක්වා මුදලක් මේ යටතේ ලබා දෙනු ලැබේ.


4. රිවි බල සවි -


සෑම නිවාස ඒකකයක් ම සූර්ය බල ශක්ති උත්පාදන ඒකකයක් බවට පත් කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක ය. 6.75% පොලී අනුපාතය යටතේ රුපියල් 350,000ක උපරිම ණය මුදලක් මේ යටතේ ලබා දේ.

 


5. දිරි සවිය -
කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාප්ත කිරීමේ අරමුණින් අධිශීතකරණ ලබාදීම සඳහා වන ණය ව්‍යාපෘතියකි. මේ සඳහා පොලී රහිතව රුපියල් 50,000ක උපරිමයකට යටත්ව ණය ලබා දෙනු ලැබේ.


6. ජය ඉසුර -


සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා වන ණය යෝජනා ක්‍රමයකි. මේ යටතේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා රුපියල් මිලියන 100 දක්වා 6.75%ක පොලිය යටතේ ණය පහසුකම් ලබා දෙනු ලබන අතර 10.12%ක පොලී අනුපාතය යටතේ රුපියල් මිලියන 400 දක්වා ණය පහසුකම් ලබා දේ.


7. මාධ්‍ය අරුණ -


මාධ්‍යවේදීන්ට තම රාජකාරී කටයුතු කිරීම සඳහා උපකරණ මිල දී ගැනීමට සහ උපකරණ වැඩි දියුණු කර ගැනීම සඳහා ලබා දෙනු ලබන ණය මුදලකි. උපකරණ මිල දී ගැනීම සඳහා පොලී රහිතව රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දෙනු ලබන අතර වැඩි දියුණ කිරීම සඳහා 6.75%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් 150,000ක ණය මුදලක් ලබා දේ.


8.සොඳුරු පියස -
අඩක් නිම කළ නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා ලබා දෙනු ලබන ණය යෝජනා ක්‍රමයකි. වර්ග අඩි 1000කට අඩු නිවාස සඳහා රුපියල් ලක්ෂ 2ක උපරිමයකට යටත්ව 6.75%ක පොලිය යටතේ ණය ලබා දෙනු ලබයි.


9. හරිත ණය -

දිරාපත්වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමයකි. 6.75%ක පොලිය යටතේ රුපියල් මිලියන පහක උපරිමයකට යටත් ව මෙම ණය මුදල ලබා දෙනු ලබයි.


10. ඇරැඹුම -


නවක උපාධිධාරීන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු කිරීම සඳහා වන ණය යෝජනා ක්‍රමයකි. මේ යටතේ පොලී රහිතව රුපියල් මිලියන 1.5ක උපරිමයකට යටත්ව ණය ලබා දෙනු ලබයි.


11. මධ්‍යම ආදායම් ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය -


පළමු වරට නිවසක් මිල දී ගන්නා තරුණ තරුණියට ඉලක්ක කර ක්‍රියාත්මක කෙරෙන ණය යෝජනා ක්‍රමයකි. සහන පොලී අනුපාත යටතේ රුපියල් මිලියන 5ක උපරිම මුදලක් මේ යටතේ ලබා දෙනු ලබයි.

12. පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමය -


කම්හල්වලින් පරිසර හිතකාමි ද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති ස්ථාපනය කිරීම සඳහා ලබා දෙනු ලබන ණය යෝජනා ක්‍රමයකි. මේ යටතේ රුපියල් මිලියන 3ක මුදලක් 6.5%ක පොලිය යටතේ ලබා දෙනු ලබයි.


13. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය -


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්ට ණය පහසුකම් ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා එක්ව ක්‍රියාත්මක කෙරෙන ණය යෝජනා ක්‍රමයකි. මේ යටතේ රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව 11-14% අතර පොලී අනුපාතයක් යටතේ ලබා දෙනු ලබයි. ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට සහ කාන්තාවන්ට විශේෂ සහන සැලසේ.


14. ගොඩනැගිලි මත සවි කෙරෙන සූර්ය බල ශක්ති මගින් බල ශක්ති උත්පාදනය කිරීම සඳහා වන ණය යෝජනා ක්‍රමය -


මේ යටතේ නිවාස සහ වාණිජ ගොඩනැගිලි මත සවි කෙරෙන සූර්ය බල පද්ධති සඳහා ණය ලබා දෙනු ලබයි. 8% පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 7.5ක උපරිමයකට යටත් ව ණය ලබා දෙනු ලැබේ.


15. ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපනය කිරීම -


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය ඇප සුරැකුම් ලබා ගැනීම සඳහා මෙම ආයතනය ස්ථාපනය කෙරේ.


16. සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් ස්ථාපනය කිරීම -


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථාපනය කිරීමට සහය ලබා දීමේ වැඩසටහනකි. මේ යටතේ කෘෂි හා ධීවර සමාගම් 50ක්, කාන්තාවන්ට අයිතිය ඇති සමාගම් 25ක් සහ ප්‍රජාව කේන්ද්‍ර කරගත් ව්‍යාපාර 150ක් ආරම්භ කිරීමට අපේක්ෂිතය. කාන්තාවන් විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් ආරම්භ කරන ව්‍යාපාර සඳහා අතිරේක 10%ක පොලී සහනාධාරයක් සැලසේ.