Print this page

සයිටම් සිසුන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත් කර අවසන් වූ පසු සයිටම් වෛද්‍ය පීඨය අහෝසියි - අමාත්‍ය විජයදාස රාජපක්ෂ

ජූනි 20, 2018
සයිටම් වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග්‍රහනය කොට  අවසන් වූ පසු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය අහෝසි වන බවත් ඒ සඳහා සංශෝධන ගෙන එන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපකෂ මහතා පවසයි.
 
 එමෙන් ම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භයේ සිට උපාධි පිරිනැමීම දක්වා වූ සියලු කටයුතු අධීක්ෂණය කිරිමට යාන්ත්‍රණයක් සකස් කෙරෙන  ''තත්ත්ව සහතික හා ප්‍රතීතන පනත් කෙටුම්පත'' ගෙන ඒමට ද  කටයුතු කරන බව  අමාත්‍යවරයා සඳහන් කළේ, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී  එක්වෙමිනි.
 
 
අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ආසියාවේ ඉහළ අධ්‍යාපන ප්‍රමිතියක් පවතිනවා. අපේ රටේ අනෙකුත් උපාධි  සඳහා පෞද්ගලික අංශය ක්‍රියාත්මක වුණත්, සයිටම් වෛද්‍ය පීඨය ගැන ප්‍රශ්නයක් ඇති වුණා. 2012 දී සයිටම් ආයතනය  ආරම්භ  කර වෛද්‍ය පීඨයට වසර තුනක් පමණ ක්‍රියාත්මක වුණත්  විරෝධයක් තිබුණේ නෑ. ඉන් අනතුරුව පුරවැසියෝ, ශිෂ්‍ය ප්‍රජාව විරෝධතා ගොඩ නැගුවා. මේ නිසා අධ්‍යාපන කටයුතු අඩපන වුණා. විශ්වවිද්‍යාල අකර්මන්‍ය වුණා.මේ ප්‍රශ්න උසස් අධ්‍යාපනයට පමණක් නොව සාමාන්‍ය අධ්‍යපනයටත් බලපා තිබෙනවා. පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන තිබෙනවා. එහෙත් පෞද්ගලික අධ්‍යාපන පද්ධතිය නිරීක්ෂණය කරන්න ක්‍රමවේදයක් සකස් කර නෑ. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භය සිට උපාධි පිරිනැමීම දක්වා සියලු කටයුතු අධීක්ෂණය කිරිමට යාන්ත්‍රණයක් සකස්  කෙරෙන  ''තත්ත්ව සහතික හා ප්‍රතීතන පනත් කෙටුම්පත'' ගෙන ඒමට කටයුතු කරනවා.
 
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන ) පනත මඟින් ඉදිරිපත් කළ විසඳුම ක්‍රියාත්මක ආකරය දැන ගැනීම වැදගත්.  සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට 2009 සිට 2017 දක්වා ඇතුළත් වූ වෛද්‍ය සිසුන්ට පමණයි  මෙයට අදාළ වන්නේ.සයිටම් සිසුවෙක් වූ පමණින් ම අන්තර්ග්‍රහනය සිදු කෙරෙන්නේ නෑ. ඒ සඳහා සුදුසුකම් තිබුණොත් පමණයි. අන්තර්ග්‍රහනය වෙන්නේ. සයිටම් වෛද්‍ය  පීඨයේ අධ්‍යාපන ලැබූ සිසුවෙක් කුමන වසරේ අධ්‍යාපනය ලැබුවත්,  එම  වසරේ ම  සිසුවෙක් ලෙස අන්තර්ග්‍රහණය කිරීමට  කොතලාවල විශ්වවිද්‍යාලය බැදී නෑ. අධ්‍යාපන මට්ටමට හා සායනික පුහුණුව අනුව තත්ත්වයට ගැළපෙන ලෙසයි අන්තර්ග්‍රහනය කරන්නේ.වෛද්‍ය උපාධිය අවසන් කළ සිසුන් අන්තර්ග්‍රහනය කිරීම තුළින් ස්වයංක්‍රීයව උපාධියක් ලැබෙන්නේ නෑ. 
 
මේ සිසුන් පිළිබඳව තක්සේරුවක් ලබාගෙන, සයනික පුහුණුවක් පුළුල් ලෙස ලබාදීමට කටයුතු කෙරෙනවා.   එය සාර්ථක ලෙස අවසන් කරන අයට පමණයි කේ.ඩී.යූ. වෛද්‍ය උපාධිය ලැබෙන්නේ.පනත සම්මත කරගෙන තවදුරටත් සයිටම් ක්‍රියාත්මක වෙයි ද කියලා ඇතැම් අයට සැකයක් තිබෙනවා. සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවට ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර අවසන් වූ පසු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය අහෝසි වෙනවා. ඒ සඳහා අවශ්‍ය සංශෝධනය සිදු කෙරෙනවා.
 
මෙය සයිටම් සිසුන්ගේ වැරැද්දෙන් වූ දෙයක් නොවේ. දූ දරුවන් අකරතැබ්බයට මුහුණ දුන්නේ. මේ සඳහා සාධාරණයක් ලබාදිය යුතු බව හැම දෙනාම කිව්වා. ඒ  නිසයි පිළිගත හැකි විසඳුමක් හඳුන්වා දුන්නේ. ප්‍රශ්නය  තිබුණේ වෛද්‍ය උපධියට පමණය. පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ප්‍රශ්නයක් නෑ. පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමිතියකට අනුකූලව සිදු විය යුතුයි. ලාභ ලබන ආයතන නොවිය යුතුයි. මෙය ප්‍රවීණයන්ගේ මතයයි. මේ දෙකෙක් හොඳ මොකක්ද කියලා රජය තීන්දුවක් අරන් නෑ. දීර්ඝ  කථිකාවක් ඇති කරගෙන රටට අවශ්‍ය ප්‍රතිපත්තිය ගැන සභාවේ දී තීරණයක් ගත යුතුයි.
 
පෞද්ගලික උසස් අධ්‍යාපන පිළිගෙන තිබුණා. වෛද්‍ය උපාධියට එසේ තිබුණේ නෑ. අවිධිමත් ලෙස මෙම ස්ථානය ආරම්භ කර තිබුණේ.මුළු රටම වින්දිතයින් වෙලා, සිසුන් වින්දිතයින් වෙලා තිබෙනවා. නම්‍යශීලීව සාකච්ඡා කර කටයුතු කළා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ. මෙහෙ ඒජංසි තියෙනවා. අද සිසුන් එකතු කරනවා. අපිට වෛද්‍ය උපාධිය ගන්න ඉන්දියාවට, නේපාලනයට යන්න වෙලා. ඒ රටවල් අවතක්සේරු කරනවා නොවේ.උදොඝෝෂණ වැඩි කරන්න ඒජංසිත් මුදල් පොම්ප කළා. මෙම සංශෝධනය මඟින් දැවෙන ප්‍රශ්නය විසඳෙනවා වගේම නැවත එවැනි ප්‍රශ්නයක් ඇති නොවෙන්න කටයුතු කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය