අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල්පිටිය දූපත් සංවර්ධනයට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

    ජූනි 14, 2018

    කල්පිටිය ආශ‍්‍රිත දූපත් 13 ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

    මෙහිදී ජනාධිපතිතුමා පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේ අදාළ ප‍්‍රදේශවල ජනතාවගේ සංවර්ධන ගැටලු පිළිබඳ නිසි අවධානය යොමු කරමින් ප‍්‍රමුඛතාවයන් හඳුනාගනිමින් එම සැලැස්ම ඉදිරිපත් කරන ලෙසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ  ඊයේ (13) පෙරවරුවේ පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ පැවති ග‍්‍රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුවට එක්වෙමිනි.

    ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවති මෙම මෙහෙයුම් කමිටුවේදී ග‍්‍රාමශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ කි‍්‍රයාත්මක වන අන්දම සහ එහි ප‍්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    ප‍්‍රදේශයේ ගොවි ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම හේතුවෙන් ගොවීන් මුහුණදී සිටින ගැටලුකාරි තත්ත්වය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණු අතර ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ ගොවි ජනතාවට බාධාවකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට හැකිවන අන්දමින් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

    ප‍්‍රදේශයේ කිරි නිෂ්පාදනය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර ප‍්‍රදේශයේ කිරි ගොවින්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම ප‍්‍රදේශයේ පලතුරු ගොවින් මුහුණදී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. පලතුරු මිල පහළ යන අවස්ථාවලදී එම ගොවින්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම වෙනුවෙන් කාගිල්ස් ආයතනය සහ වෙනත් පුද්ගලික සමාගම් සමග සාකච්ඡා කර එම නිෂ්පාදන මිලදී ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද අවධානය යොමු විය.

    එමෙන්ම පලතුරු විජලනය කර කල් තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ශීතාගාර පහසුකම් සඳහා දැනට තිබෙන බදු සඳහා සහන ලබාදීමට මුදල් අමාත්‍යාංශය සහ රේගුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඉස්සන් සහ ලුනු කර්මාන්තය ආශ‍්‍රිතව මතුවී තිබෙන ගැටලු පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු අතර එම කර්මාන්ත සිදුකරන ඉඩම්වල බදු අයිතිය ගොවි ජනතාව වෙත ලබාදෙන ලෙස කළ ඉල්ලිම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ඒ අනුව ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විශේෂ කමිටුවක් පත් කර අදාළ වාර්තාව කඩිනමන් තමා වෙත ලබාදෙන ලෙසයි.

    පළාතේ පොල් ඉඩම් කට්ටි කිරිම තහනම් කිරීමට රජය පසුගියදා ගත් තීරණය කි‍්‍රයාත්මක වන අන්දම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසීය.

    ග‍්‍රාමශක්ති වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනා දේශපාලන භේදයකින් තොරව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා සියලුදෙනා වෙත පෙන්වා දුන්නේය.

    වයඹ සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරු මෙම කමිටු රැස්වීම සඳහා එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර පොදුජන පෙරමුණු නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් ද ඒ අතර වූහ.

    එහිදී ඔවුන් කියා සිටියේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කි‍්‍රයාත්මක වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි.

    මේ අතර පුත්තලම සහ කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන ප‍්‍රතිපාදනවල පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ඒ අනුව කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 45 ක මුදලක් සහ පුත්තලම දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 24 ක මුදලක් ලබාදීම සිදුවිය.

    මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග වගාකරන ග‍්‍රාමශක්ති ජනතා සමිතිය සහ සී/ස කාගිල්ස් සමාගම අතර එම නිෂ්පාදන මිලදී ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි.

    අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, එස්. බී. නාවින්න, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරින් මේ සඳහා එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya