Print this page

බස් ගාස්තුව 6.56%කින් සංශෝධනයට...

මැයි 15, 2018

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය.

ඉන්ධන මිල වැඩීවීමත් සමඟ ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අද (15) දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

බස් ගාස්තු සංශෝධනය සඳහා වූ කමිටුව 2018 මැයි 14 වන දින රැස්වූ අතර එකී කමිටුව මගින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනයට අදාළ නිර්ණායකයන් 12ක් සැලකිල්ලට ගනිමින් ඒ මත පදනම් වු සංශෝධිත බස් ගාස්තුව වර්තමාන බස් ගාස්තුවෙන් 6.56%කින් වැඩි කළ යුතු බව නිර්දේශ කරන ලදී. තවද දැනට අය කරනු ලබන අවම බස් ගාස්තුව වන රුපියල් 10 එලෙසම පැවැත්විය යුතු බවද තීරණය කොට ඇත.

එකී කමිටුවේ සාමාජිකයන් වශයෙන්,


ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - ආර්.එම්.එස්.පී රත්නායක,
ජාතික අයවැය අධ්‍යක්ෂ - ජේ.එම්.හේරත් බණ්ඩා,
ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ - යු.එන්.මල්ලවආරච්චි,
රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ - පී.ඒ.එස්.ඒ.කුමාර,
සංඛ්‍යා හා සංඛ්‍යාත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ - ඒ.එන්.යු.කේ අලහකෝන්,
පොලිස් අධිකාරී - ඩබ්. ඩී.ඒ.ධනංජය,
කම්කරු කොමසාරිස් - ජනක පරණගම,
මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ පීඨාධිපති මහාචාර්ය -
ජේ.එම්.එස්.බණ්ඩාර,
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂිකා - එන්.ඩී.එස්.ජෙගනාදන්
යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය.

මෙම බස් ගාස්තු සංශෝධනය, බස් ධාවනය කිරීමේදී පිරිවැය විචල්‍යයෙහි හඳුනාගත් වෙනස්කම් අනුව කිලෝමීටරයකට බස් ධාවන පිරිවැය නැවත ගණනය කර, යෝජිත බස් ගාස්තු සංශෝධනය කොට ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද එම විද්වත් මණ්ඩලයේ නිර්දේශ මත 2018 මැයි 16 වන දින සිට අවම ගාස්තුව රුපියල් 10 ක් වන පරිදි වාර්ෂික බස් ගාස්තුව 6.56%කින් සංශෝධනය කිරීම අනුමත කොට ඇත.
ඒ පිළිබඳව විස්තරාත්මකව ගාස්තු අය කිරීමට සංශෝධනයන් ජාතික ගමනාගමන කොමිසන් සභාව මගින් කඩිනමින් ජනතාව හා බස් හිමියන් වෙත දැනුම් දීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී ඇත.