1956 වසරේ එතුමා “රේඛාව” චිත්‍රපටය නිර්මාණය කරන්නේ, ඒ වන විට දකුණු ඉන්දියානු අධ්‍යක්ෂවරුන්ටත්, ඉන්දියානු චිත්‍රාගාර පසුතලවලටත්, භාවාතිශය රංගනයන්ටත් කොටු වී පැවති සිංහල සිනමාවට නව අත්දැකීමක් ලබාදෙමිනි. සිනමා රංගනය, කැමරාකරණය, චිත්‍රපට සංගීතය, චිත්‍රපට ගීත රචනය, පසුතල ආදී සෑම අංශයකම පෙරළියක් ඇති කරන්නට “රේඛාවේ” ආගමනය බලපෑවේය.
“රේඛාව”, “ගම්පෙරළිය”, “නිධානය”, “ගොළු හදවත” වැනි වෘත්තාන්ත චිත්‍රපට රැසක් නිමවමින් කලාත්මක සිනමාවට යා හැකි දුර අපට පසක් කරදුන් මේ ප්‍රවීණ සිනමාවේදියාගේ නිර්මාණ භාවිතාව ලාංකේය සිනමාවේ වින්දන පරාසය වඩාත් පුළුල් කළ බව රහසක් නොවේ. කළු සුදු චිත්‍රපටයක් ලෙස නිමැවුණු “ගම්පෙරළිය” මා දැක ඇති විශිෂ්ටතම සිනමා කෘතියකි. ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය මැනවින් නිරූපණය කළ මාටින් වික්‍රමසිංහ මහතාගේ “ගම්පෙරළිය”, “කළියුගය”, “යුගාන්තය” තුන්ඈඳුතු නවකතාව දක්ෂ ලෙස සිනමාවට නැඟීමට එතුමා සමත් විය.
මගේ දෙමව්පියන්ගේ මිත්‍රයකු ලෙස මුල්වරට දැන හඳුනා ගත් ලෙස්ටර් මැතිතුමා, පාසල් ශිෂ්‍යයකු ලෙස සරසවි චිත්‍රපට උළෙලේ සංවිධාන කටයුතුවලට සහය වෙමින් සිටියදී සුමිත්‍රා පීරිස් මැතිනිය සමඟ ද හමු වූ අතර, මා දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුව ළඟින් දැන හඳුනාගන්නටත්, වඩාත් සමීපව ඇසුරු කිරීමටත් අවස්ථාව ලැබිණි. එතුමාගේ සිනමා නිර්මාණ දෙතුන් වර නැරඹූ ලෙස්ටර් රසිකයකු ලෙස, අපගේ චිත්‍රපට සංස්කෘතිය නව මඟකට යොමු කිරීම සම්බන්ධයෙන් එතුමාට මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමි.
සිනමා ක්ෂේත්‍රයේ විවිධ භඣමිකාවන් තුළ ස්වකීය අසහාය ප්‍රතිභාව සනිටුහන් කළ එතුමා අප සිනමාව මුල්වරට ජාත්‍යන්තර තලයට ගෙනයමින්, දෙස් විදෙස් සම්මානයට පාත්‍රවෙමින් ලාංකේය සිනමාවට ලබා දුන් විශිෂ්ට දායකත්වය රසික හදවත් තුළ සැමදා රැඳී පවතිනු ඇත. එතුමාගේ අභාවයෙන් ශෝකයට පත් ආදරණී බිරිඳ, ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මියට මාගේ බලවත් සංවේගය පළකරමි. නිදහසින් පසු ශ්‍රී ලංකාව වඩාත් අර්ථසම්පන්න වෙනසකට ලක්කළ දැවැන්තයින් අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාණන්ගේ නාමය සදාඅනුස්මරණීය වන බව විශේෂයෙන් සඳහන් කරමින්, එතුමාගේ විප්ලවීය සිනමා ගමනට, කලා ක්ෂේත්‍රයේ සුවිශිෂ්ට දායකත්වයට, සොඳුරු මනුෂ්‍යත්වයට මාගේ ගෞරවනීය ආචාරය පුදකරමි.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය