නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස 25 වන ගුණ සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන් Featured

    මැයි 01, 2018

    ජනතා සිහින සැබෑ කිරීම අමතක කර, තම පෞද්ගලික දේශපාලන සිහින සැබෑ කර ගැනිමට උත්සාහ දරන වත්මන් දේශපාලන සංස්කෘතිය තුළ රණසිංහ පේ‍්‍රමදාස හිටපු ජනාධිපතිතුමාගේ චරිතය ආදර්ශමත් චරිතයක් බව ජනාධිපතිතුමා පවසයි.


    තම සිහින සැබෑ කර ගැනීමට නොව පොදු ජනතාවගේ සිහින සැබෑ කිරීමට නිරන්තරයෙන් කැපවූ එතුමා නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පොඩි මිනිසා සහ නැති බැරි මිනිසා නගාසිටුවීම අරමුණු කොටගත් දේශපාලන ප‍්‍රතිපත්තියක් සහ දර්ශනයක් තුළ කටයුතු කළ විශිෂ්ට නායකයෙක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ 25 වන ගුණ සැමරුම් උත්සවයට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.
    කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණය අසල පේ‍්‍රමදාස පිළිරුව අභියස දී ගුණසමරු උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
    පේ‍්‍රමදාස පිළිරුව වෙත මල් කළඹක් තැන්පත් කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.
    අනතුරුව පැවති උත්සව සභාව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් මේ රටේ ජනතාව භාරදුන් වගකීමත්, පෙර පැවති රජය වෙනස් කිරීමට ජනතාව තුළ තිබූ උනන්දුවත් පිළිබඳව සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.
    පෙර කළ වැරදිි නැවත නොකරන වඩා යහපත් පාලනයක්, යහපත් සමාජයක් සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් මෙන්ම පොඩි මිනිසුන්ට ආදරය කරන ජනතාවගේ හෘද ස්පන්දනය හදුනාගත් ජනතාවාදී ගමනක් සදහා සියලුදෙනා කැපවි යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
    රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ චරිතයත්, එතුමාගේ දේශපාලන දර්ශනයත් පිළිබඳ අවබෝධයෙන් යුතුව එතුමා අපේක්ෂා කළ සමාජ වෙනස සඳහා අවශ්‍ය පරිවර්තනයන් පිළිබඳ අධ්‍යයනය කරමින් ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සකස් කර ගැනීමට එක්වෙමුයැයි ද ජනාධිපතිතුමා මෙහිදී සියලුදෙනාට ආරාධනා කළේය.
    පොදුරාජ්‍ය මණ්ඩලයීය කි‍්‍රඩා උළෙලේ පදක්කම්ලාභී කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් වෙනුවෙන් ලබාදුන් නිවාස 06න් නිවාස 03 ක හිමිකම් පිරිනැමීම සහ කොළඹ දිස්ති‍්‍රක්කයේ නිවාසලාභීන් පන්දහසක් වෙනුවෙන් නිවාස හිමිකම් ප‍්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත හිමිකම්පත් ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
    මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසුරිය, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, හේමා පේ‍්‍රමදාස මැතිණිය ප‍්‍රමුඛ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ 25 වන ගුණ සමරු උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව
    ( අලුත්කඬේ උසාවි සංකීර්ණය අසළ රණසිංහ පේ‍්‍රමදාස පිළිරුව අභියස 2018-05-01 )
    පොඩි මිනිසා වෙනුවෙන්, නැති බැරි මිනිසා වෙනුවෙන් ඔහු ඉහළ සමාජ ස්ථරයකට නගා සිටුවීම වෙනුවෙන් පැහැදිලි දේශපාලන ප‍්‍රතිපත්තියක් සහ දර්ශනයක් ඔස්සේ වැඩකළ අභාවප‍්‍රාප්ත රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ ගුණ සමරමින් අද මේ පවත්වන උත්සවයට සහභාගී වීමට ලැබීම පිළිබඳව සතුටුවෙනවා. ඒ වගේම මා වෙත ආරාධනා කළ සජිත් පේ‍්‍රමදාස මැතිතුමාට සහ පවුලේ සියලුදෙනාටත් මේ උත්සවය සංවිධානය කළ සංවිධායක කමිටුවටත් මා ස්තූතිවන්ත වෙනවා.

    මා විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් ලෙස සිටිනා කාලයේදී රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ඇසුරු කරනු ලැබුවා. එතුමා සමග හොඳ සම්බන්ධතාවයක් මා ඇතිකර ගෙන තිබුණා. එතුමා තුළ මේ රටේ පොදු ජන හදවත්වල මතක සටහන් තබා තිබෙන්නේ පොඩි මිනිසා වෙනුවෙන්, පීඩාවට පත්වූ මිනිසුන් වෙනුවෙන් යුග මෙහෙවරක් කළ පුරුෂයෙක් ලෙසයි. වර්තමානයේ සිටින දේශපාලනඥයින් මෙන් නොව පොදු ජනතාවගේ සිහින සැබෑ කරගැනීමටයි එතුමා කැපවුණේ. අද අපේ රටේ දේශපාලනයේ අපි දකින ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි පොදු ජනතාවගේ සිහින සැබෑ කිරීම පැත්තකින් තියලා තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍ර තුළ තම තමාගේ අනාගතය පිළිබඳ දේශපාලන සිහින සැබෑ කර ගැනීමේ දේශපාලන සංස්කෘතියක් වර්තමානයේ බිහිවී තිබීම.
    පොඩි මිනිසුන් වෙනුවෙන් වැඩකරන්නට, ඔහු නගා සිටුවීමට අවශ්‍ය සමාජ පරිවර්තනය කරන්නට, පොඩි මිනිසුන් අතරෙන් ගොඩනැගුණු නායකයෙක් ලෙස ධනපති පංතියෙන් නොවන, පාරම්පරික දේශපාලන පරිසරයකින් නොවන, ප‍්‍රභූ පංතියෙන් නොවන සැබෑ ලෙසම මිනිසුන් අතරෙන් බිහිවූ නායකයෙක් ලෙස රණසිංහ පේ‍්‍රමදාස මහතා හඳුන්වා දිය හැකියි. ඒ නිසාම එතුමාට ඉතාමත් බරපතළ හා ඛේදනීය සිදුවීමවලට මුහුණ දීමට සිදුවුණා. අවසානයේ එතුමාව ඝාතනය කළා. මෙය මේ රටේ දේශපාලනයේ වගේම ලෝක දේශපාලනයේ දී අපි දැකලා තිබෙන දෙයක්. එවැනි චරිතවලට බොහෝ විට අත්වන ඉරණම පිළිබඳව අපි පාඩම් ඉගෙන ගතයුතු වෙනවා.
    2015 ජනවාරි 08 වැනිදාත් 2015 අගෝස්තු මාසයේත් මේ රටේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තබා අපට රට බාරදුන්නා. පෙර පැවති රජය වෙනස් කිරීමට මේ රටේ ජනතාවට තිබූ උනන්දුව සහ එය කිරීමේ අරමුණ අපි තේරුම් ගත යුතුයි. මේ රටේ ජනතාව අපට ලබාදුන් වරම, අප විසින් ඉටුකළ යුතු කාර්යයන් සඳහා අපි කැපවිය යුතුයි.

    අපට මේ රටේ ජනතාව මේ වගකීම් භාරදුන්නේ කුමක් සඳහා ද යන්න එහිදී පළමුවෙන්ම තේරුම්ගත යුතුයි. එහිදී රටේ පවත්නා දේශපාලන මතවාදයන් පිළිබඳව මෙන්ම ආර්ථික අසීරුතාවයන්ට මුහුණ දී සිටින, පීඩාවට පත්වී සිටින සාමාන්‍ය ජනතාවගේ හෘද ස්පන්ධනය තේරුම් ගැනීමට ඇති හැකියාව හැමවිටම රාජ්‍ය පාලනයක තිබිය යුතුයි.
    රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ චරිතයත් එතුමාගේ දර්ශනයත් එතුමාගේ දේශපාලන ජීවිතයේ ආරම්භයේ සිට අවසානය දක්වා කළ කී දෑ සියල්ල තුළ පෙන්නුම් කළ දර්ශනය අපි පැහැදිලිව තේරුම්ගත යුතු වෙනවා. මේ ගුණ සැමරු දිනයේ එම ගුණ සිහිපත් කිරීම වගේම යම් දේශපාලනඥයෙක් වේවා වෙනත් ඕනෑම ක්ෂේත‍්‍රයක නියමු චරිතයක් පිළිබඳව කතාකරන විට සලකා බැලිය යුතු වැදගත්ම දේ වන්නේ එම ගුණාංග වර්තමානයට අදාළ කර ගනිමින්. අනාගතය සඳහා උපයෝගී කරගන්නේ කෙසේද යන්න සලකා බැලීමයි.
    රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට මේ රටේ පොදු මහජනතාවගේ හදවත් තුළ තිබෙන ගෞරවය අපි නැවත නැවතත් සිහිපත් කරමින්, එතුමා බලාපොරොත්තු වූ සමාජ ක‍්‍රමය වූ පොදු ජන සමාජයක් ස`දහා අවශ්‍ය පරිවර්තනයන් මගින් මේ රට ඉදිරියට ගෙනයාමට කළ කැපවීම් තුළින් අපි පාඩම් ඉගෙනගෙන වර්තමාන රජයේ ප‍්‍රතිපත්ති සහ දර්ශනය ඔස්සේ අපි සියලුදෙනාම කටයුතු කරමු යන ඉල්ලීම කරමින්, බෞද්ධයින් විදියට එතුමාට නිවන් සුව අත්පත් වේවායි ප‍්‍රාර්ථනා කරමින් ඔබ සැමට ස්තූතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya