අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය- 2018 රාජ්‍ය වෙසක් සතිය අප්‍රේල් 26 වන දා සිට මැයි 02 වන දා දක්වා බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේදී

    අප්‍රේල් 25, 2018

    ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල්  26 වන දා සිට මැයි 02 වන දා දක්වා "වෙසක් සතිය" ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇත.

    තිරසර පරිසරයක් සඳහා බුදු දහම, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා බුදු දහම, බුදු දහමින් පෝෂිත වූ සිංහල සාහිත්‍ය, බුදු දහමින් පෝෂිත වූ හෙළ කලාව, යහපත් වෘත්තීය ජීවිතයක් සඳහා බුදු දහම, සමාජ සංවර්ධනය- ආර්ථිකය හා බුදු දහම යන කරුණු ඉස්මතු කිරීමට  මෙවර වෙසක් සතියේ එක එක් දිනයන් යොදා ගෙන ඇත.

    ශ්‍රී බු. ව. 2562 රාජ්‍ය වෙසක් මහෝත්සවය  ආධ්‍යාත්මක සංවර්ධනයට මුල්තැන දෙමින් අතිපූජ්‍ය මහනායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන් හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන්  2018 දින අප්‍රේල් 28 කුරුණෑගල - බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ දී  පැවැත්වේ.

    "චිත්තං දන්තං සුඛාවහං" (දැමුණු සිත සුව ගෙන දේ) මෙවර වෙසක් තේමාව වන අතර, සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනු වස් ගමේ පන්සල ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් ප්‍රඥාවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක්, එහි අරමුණ වේ.

    මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ප්‍රත්‍යවේක්ෂා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150 ක් ද, ජංගම සේවා වැඩසටහන් 6 ක් ද,දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන් 16 ක් ද, සෞඛ්‍ය හා බුදු දහම වැඩසටහන් 61 ක් ද, ළමා භාවනා වැඩසටහන් 30 ක් ද වෘත්තිකයක් හා බුදු දහම වැඩසටහන් 18 ක් ද සාමණේර ස්වාමින් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහන් 20 ක් ද, මා පිය දූ දරු සෙනෙහස මුල්කරගත් වැඩසටහන් 37 ක්ද සංවිධානය කර ක්‍රියාත්මක කෙරිණි.

    මීට අමතරව බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියක්, භක්ති ගීත වැඩසටහන්, බුදු දහමින් පෝෂිත සිංහල සාහිත්‍ය හා හෙළ කලාව ගැන වැඩසටහන්, සාරධර්ම පෙරහර,තිරසර පරිසරයක් සඳහා බුදු දහම වැඩසටහන්, සත් කෝරලයේ විහාර වංශය ලිවීම, පැරණි පුස්කොළ පොත් සංරක්ෂණය, විශේෂ ධර්ම දේශනා හා පිණ්ඩපාත පිංකම්,සිල්මාතා පුහුණු වැඩසටහන්, සමාජ සංවර්ධනය හා බුදු දහම වැඩසටහන් ද පැවැත්වේ.

    රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමිව භෞතික සංවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දහම් පාසල් 300 ක් සංවර්ධනය කරන අතර විහාරස්‌ථාන 250 ක් සංවර්ධනය කෙරේ. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථානය ද සංවර්ධනය කරන විහාරස්ථාන අතරට අයත්ය. බුදුපුත් මාපිය උපහාර නිවාස ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරේ.

    දහම් පාසල් දරුවන් 500ක ට ශිෂ්‍යාධාර ලබාදෙන අතර මතින් තොර සාරධර්ම සපිරි බෞද්ධ නායකයන් බිහි කිරීම සඳහා කල්‍යාණ මිත්‍ර සංසද පිහිටුවනු ලබයි.

    අඩු ආදායම්ලාභී බෞද්ධ පවුල් නගා සිටුවන අතර බෞද්ධ සමිති ද ශක්තිමත් කෙරේ.

    වෙසක් සතියේ පහන් කූඩු ප්‍රදර්ශන, අධ්‍යාපනික- සංස්කෘතික- පුරා විද්‍යාත්මක ප්‍රදර්ශන මෙන්ම බොදු සිතුවම් හා ඡායාරුප ප්‍රදර්ශන සංවිධාන කර ඇති අතර ජාතක කතා තේමා කරගත් වයඹ පලාතට අවේණික ජන නාට්‍ය ද සංවිධාන කර ඇත.

    28 වන දා වෙසක් සමරු මුද්දර නිකුත් කෙරෙන අතර, ධර්ම ශාස්ත්‍රීය පොත් එළි දැක්වීමට ද නියමිතය.

    ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුලු සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, කුරුණෑගල දිසා ශාසනාරක්ෂක මණ්ඩලය, බිංගිරිය රාජමහා විහාරාධිපති ගරුතර නායක ස්වාමින් වහන්සේ හා බෞද්ධ උපදේශක සභාවේ අනුශාසකත්වයෙන්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදේශකත්වයෙන්,  බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ හා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ පුර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කුරුණෑගල දිස්ත්‍රක් ලේකම් කාර්යාලය, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වයඹ පළාත් සභාව, ප්‍රාදේශීය සභා, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ බිංගිරිය රාජ මහා විහාරස්ථ දායක සභාව මේ සියලු කටයුතු සංවිධාන කරයි.

     

    එල්.පී. තිලකරත්න

    අංශ ප්‍රධානී ( ප්‍රචාරක)

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya