අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව මිලියන 216ක් මැලේරියාවට ගොඳුරු වෙයි - මැලේරියාවෙන් තොර ශ‍්‍රී ලංකාවක්- ලෝක මැලේරියා දිනය අදයි Featured

    අප්‍රේල් 25, 2018

    ලෝක මැලේරියා දිනය අදට (25)යෙදී තිබේ. ජගත් ප්‍රජාව මැලේරියා රෝගයෙන් මුළු මහත් මිනිස් සමජය ගලවා ගැනීම උදෙසා පියවර රැසක් ගෙන තිබෙන අවස්ථාවක අද දින ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක මැලේරියා  දිනය ලෙස නම් කර තිබේ.

    මැලේරියාව යනු මනුෂ්‍ය සංහතිය ඉතා ප‍්‍රබල ලෙස පීඩාවට පත් කරන රෝගයකි. මෙම රෝගය එක්  පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන්නේ මැලේරියා පරපෝෂිතයාගෙන් ආසාදිත මදුරුවකුගේ  දෂ්ටනය මඟින්ය. මෙය සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකි සහ ප‍්‍රතිකාර මඟින් සුව කළ හැකි රෝගයකි.

    ගෝලීය තත්ත්වය

    2017 මැලේරියාව පිළිබඳ ලෝක වාර්තාවට අනුව, 2016 වසරේදී ලොව මිලියන 216 කට මැලේරියාව වැළඳී ඇති අතර මැලේරියාවෙන් මරණයට පත් වූ සංඛ්‍යාව 445,000 කි.
    මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ අප‍්‍රිකානු කලාපයෙන් වන අතර, දකුණු සහ නැගෙනහිර  ආසියාතික කලාපය, නැගෙනහිර මධ්‍යධරණී, බටහිර පැසිෆික් සහ ලතින් ඇමරිකානු කලාපයන් ද මැලේරියාව  සඳහා අවදානම් ප‍්‍රදේශ වේ.  ලොව අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ වලට මැලේරියාව ප‍්‍රධාන හේතුවක් වේ.

    දකුණු සහ නැගෙනහිර ආසියාතික කලාපීය තත්ත්වය

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව, 2016 වසරේ දී දකුණු සහ නැගෙනහිර ආසියාතික කලාපයෙන් මැලේරියා රෝගීන් මිලියන 14.6 ක් වාර්තා වී ඇති අතර, ඊට ප්ලැස්මෝඩියම් ෆැල්සිපාරුම්  මැලේරියා රෝගීන් (66%) සහ ප්ලැස්මෝඩියම් වයිවැක්ස් මැලේරියා රෝගීන් (34%)අඩංගුය. ප්ලැස්මෝඩියම් වයිවැක්ස් මැලේරියා රෝගීන්ගෙන් 85% වාර්තා වී ඇත්තේ ඇෆ්ගනිස්ථානය, ඉතියෝපියාව,  ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පාකිස්ථානය යන රටවලිනි. තවද, මැලේරියා ඖෂධ වලට ප‍්‍රතිරෝධී මැලේරියා රෝග තත්වයක් දකුණු සහ නැගෙනහිර ආසියාතික  කලාපයෙන් වාර්තා වී තිබේ. මාලදිවයින සහ ශ‍්‍රී ලංකාව දැනටමත් මැලේරියාව තුරන් කර ඇත.


    ශ‍්‍රී ලංකාවෙන් මැලේරියාව තුරන් කිරීමේ සාර්ථකත්වය

    අතීතයේදී මැලේරියාව ශ‍්‍රී ලංකාවට ආවේණික රෝගයක්ව පැවති අතර වරින් වර වසංගත තත්ව ඇති විය.  පසුකාලීනව, මැලේරියාව පාලනය කිරීමේ කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස 1960 වකවානුවේ දී ශ‍්‍රී ලංකාවෙන්  මැලේරියාව මුලිනුපුටා දැමීමේ තත්වයට ළඟාවුවද, එම ප‍්‍රයත්නය අසාර්ථක වීම හේතුවෙන් මැලේරියා රෝගය  ඉතා ප‍්‍රබල ලෙස හිස එසවීය. ඉමහත් පරිශ‍්‍රමයක ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රම ක‍්‍රමයෙන් මැලේරියා රෝගීන් ගණන  අඩුවීමෙන් 1991 වසරේදී 400,000 ක් වූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව, 2012 නොවැම්බර් මාසය වන විට මෙරට  තුළදී මැලේරියාව වැළඳුණු එකදු රෝගියෙකු වාර්තා නොවන තත්වයට ගෙන ඒමට හැකි විය. මෙරට වසර 30 ක්  තිස්සේ පැවති සිවිල් යුධමය වතාවරණයක් හමුවේ මෙම තත්වය උදාකරගැනීමට හැකිවීම සුවිශේෂීය. ශ‍්‍රී ලංකාව මෙවර, දේශීයව සම්පේ‍්‍රෂණය වූ එකදු මැලේරියා රෝගියෙකු වාර්තා නොවූ අඛණ්ඩ හය වන වසර සමරයි.


    ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැලේරියාව තුරන් කිරීම සඳහා වන සහතිකය

    ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකාවට මැලේරියාව තුරන් කිරීම වෙනුවෙන් සහතිකය පිරිනමන ලදි. සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මැලේරියා මර්දන
    ව්‍යාපාරය, එහි පාර්ශවකරුවන් සමඟ එක්ව මෙම ජයග‍්‍රහණය උදාකරගැනීමට ඉමහත් දායකත්වයක් සපයන ලදී.

    මැලේරියාව නැවත පැමිණීමේ අවදානම

    ශ‍්‍රී ලංකාව තුළ මැලේරියාව සම්පේ‍්‍රෂණය වීම තරන් කළද, ඉන්දියාව සහ අප‍්‍රිකානු රටවල් වැනි මැලේරියාව  ආවේණික රටවල් වලින් මැලේරියාව වැළදී මෙරටට පැමිණෙන රෝගීන් තවම වාර්තා වේ. මෙවැනි රෝගීන්  වාර්තා වීම, මැලේරියා වාහක මදුරුවන් මෙරට සිටීම සහ මැලේරියාව සම්පේ‍්‍රෂණය කරන නව මදුරු විශේෂයක්  මෑතකදී උතුරු පළාතෙන් හමු වීම යන කරුණු හේතුවෙන් ශ‍්‍රී ලංකාව තුළ මැලේරියාව නැවත හිස එසවීමේ දැඩි  අවදානමක් පවතී. 2016 සහ 2017 වසර වලදී මෙවැනි විදේශීයව මැලේරියාව සම්පේ‍්‍රෂණය වූ මැලේරියා රෝගීන්  පිළිවෙලින් 41 ක් සහ 57 ක් මෙරටින් වාර්තා විය.

    විදේශීයව සම්පේ‍්‍රෂණය වන මැලේරියාව සඳහා අවදානම් කණ්ඩායම්
    ශ‍්‍රී ලාංකිකයන් අතරින්,

    - වන්දනා චාරිකා සඳහා ඉන්දියාවට යන ශ‍්‍රී ලාංකිකයින් ඇතුළුව දකුණු ආසියාතික රටවල සංචාරය කරන ශ‍්‍රී ලාංකිකයන්.
    - මැඩගස්කර්, මොසැම්බික් වැනි අප‍්‍රිකානු රටවලට මැණික් ව්‍යාපාර සඳහා යන ශ‍්‍රී ලාංකිකයන්.
    - සාම සාධක හමුදා ක‍්‍රියාන්විත සඳහා අප‍්‍රිකානු රටවලට යන ආරක්ෂක අංශ සාමාජිකයන්.
    - දකුණු ඉන්දියාවේ තාවකාලිකව පදිංචිව සිට නැවතත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි පදිංචියට
    පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන්

    විදේශිකයන් අතරින්,

    - මැලේරියාව බහුල රටවලින් සහ එම රටවල් හරහා මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්.
    - මැලේරියාව බහුල රටවලින් මෙරටට පැමිණෙන ශ‍්‍රමිකයන්
    - පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ මියන්මාරයෙන් මෙරටට පැමිණෙන සරණාගතයින්.

    මැලේරියාව ආවේණික රටකට ඔබ සංචාරය කරන්නේ නම්,

    - කරුණාකර සංචාරයට සතියකට පෙර අවශ්‍ය උපදෙස් සහ මැලේරියාව වැළැක්වීමේ ඖෂධ මැලේරියා  මර්දන ඒකකයෙන් නොමිලේ ලබාගන්න.
    - එම රටෙහි සිටින කාලය තුළ මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වෙන්න.
    - මෙරටට නැවත පැමිණෙන ඔබට කිසියම් අසනීප තත්වයක් ඇති වුවහොත්, මැලේරියා සඳහා රුධිර පරීක්ෂාවද මැලේරියා මර්දන ඒකකයෙන් නොමිලේ සිදුකරගන්න.


    එමෙන්ම නැවත මෙරටට පැමිණි පසු ඔබට උණ වැළඳුණහොත් ඒ මැලේරියාව විය හැකි බව ඔබේ වෛද්‍යවරයාට පවසා, මැලේරියාව සඳහා රුධිර පරීක්‍ෂාව කරගැනීම ඉතාමත් වැදගත් මැලේරියා මර්දන  ව්‍යාපාරය පවසයි.


    වැඩිදුර තොරතුරු සහ සේවා සඳහා විමසන්න.

    මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලය
    මහජන සෞඛ්‍ය සංකීර්ණය, ඇල්විටිගල මාවත, කොළ‍්‍රඹ 05.
    දුරකථන අංක : 0112 588408, 0112 368173, 0112 368174
    ක්ෂණික ඇමතුම් අංකය : 0117 626626

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya