Print this page

ජිනීවා හි නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා අක්ත පත්‍ර ප්‍රදානය කරයි

අප්‍රේල් 13, 2018

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පත් කරනු ලැබූ තානාපති, ඒ.එල්.ඒ. අසීස් මහතා අප්‍රේල් 12 දින ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, අධ්‍යක්ෂ ජනරාල් මයිකල් මොලර් මහතා වෙත සිය අක්ත පත්‍රය ප්‍රදානය කළේය.

නව නිත්‍ය නියෝජිතවරයා ඉතා උණුසුම් අන්දමින් පිළිගත් අධ්‍යක්ෂ ජනරාල්වරයා, එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ මැදිහත් වීමෙන් දැනට ක්‍රියාත්මක කරගෙන යනු ලබන කාර්යයන් කීපයක් පිළිබඳව නව තානාපතිවරයා දැනුවත් කළේය. එහිලා තිරසාර සංවර්ධන ඉලක්ක අරමුණු කරගත් සමෝධානික පර්යේෂණාගාරය, එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී පුරුෂ සමානතාව පිළිබඳ ව්‍යාපෘතිය හා උරුමයන් පිළිබඳ උපායමාර්ගික පිඹුරුපත වැනි කාලීන ව්‍යාපෘති ප්‍රමුඛතාවයේ ලා සැලකෙන බවත්, ඒවායේ උන්නතිය වෙනුවෙන් සක්‍රීය දායකත්වය ලබාදෙන අතරම ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ වැඩපිළිවෙල උදෙසා ලබාදුන් නායකත්වය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකා රජය විසින් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පිණිස ක්‍රියාත්මක කරන වැඩසටහන් හා සමාජ ආර්ථික යහපැවැත්ම හා අයිතිවාසිකම් වර්ධනයේ ලා රට තුළ ක්‍රියාවට නංවා ඇති සැලසුම් පැහැදිලි කළ නිත්‍ය නියෝජිතවරයා තවදුරටත් පවසා සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අඛණ්ඩ සහයෝගීතාවයෙන් හා ඵලදායී සංවාද තුලින් සියළු ශ්‍රී ලාංකිකයන්ගේ සුභසිද්ධිය සාක්ෂාත් කරගැනීම ශ්‍රී ලංකා රජයේ අභිප්‍රාය හා ප්‍රතිපත්තිය බවයි.

ශ්‍රී ලංකා විදේශ සේවයේ 26 වසරක අත්දැකීම් සපිරි අසීස් මහතා, නව නිත්‍ය නියෝජිතවරයා ලෙස පත්වීමට පූර්වයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස යුරෝපා
හවුල හා බහු පාර්ශවීය ගිවිසුම් පිළිබඳ කටයුතු කළ අතර, ඉන් පෙර ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස හා වියනා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා
ලෙස කටයුතු කළේය.

එම වකවානුවේදී අසීස් මහතා G-77 කණ්ඩායමේ සභාපතිත්වය හා න්‍යෂ්ටික පර්යේෂණ තහනම් කිරීම පිළිබඳ වූ විස්තීරණ ගිවිසුම (CTBT) සම්බන්ධ කාරක සභාවේ හා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ (UNIDO) මෙන්ම අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරියේ (IAEA) මහ සමුළුවෙහි ප්‍රධානත්වය ද ඉසිලීය.