නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය සිනමා, ටෙලි නාට්‍ය සහ සංගීත ක්ෂේත‍්‍රයේ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ත‍්‍රිත්වය ජනපතිට පිළිගන්වයි Featured

    අප්‍රේල් 04, 2018

    රටේ අනාගතය වෙනුවෙන් මුළු මහත් ජනතාව යහපත් ගමනක් ගෙන යාමට කලාකරුවන් ඇතුළු ක්ෂේත‍්‍රයේ සියලූදෙනාට පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.


    එම කාර්යය ඉටුකිරීමේදී රජයක් ලෙස ලබාදිය හැකි සියලු සහයෝගය සහ ව්‍යවස්ථාපිත තත්ත්වයන් තහවුරු කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ දේශීය සිනමා, ටෙලි නාට්‍ය සහ සංගීත ක්ෂේත‍්‍රයේ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ත‍්‍රිත්වය ඊයේ(03) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාවේදී අදහස් දක්වමිනි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ අද සම්පේ‍්‍රෂණ සංඛ්‍යාත මේ රටේ එක්තරා ව්‍යාපාරික සහ දේශපාලන සූදුවක් බවට පත්ව තිබෙන බවයි.


    විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මෙන්ම මෙම සංඛ්‍යාත ලබා ගන්නා පිරිස් සහ දේශපාලන ක්ෂේත‍්‍රයේ කටයුතු කරන පිරිස් ද මේ පිළිබඳ වගකීමෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.


    ප‍්‍රවිණ රංගන ශිල්පිනී දිපානි සිල්වා මහත්මිය ප‍්‍රමුඛ ප‍්‍රවීණ කලාකරුවන් පිරිසක් විසින් දේශීය ටෙලිනාට්‍ය පිළිබඳ කමිටු වාර්තාව මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර ජනාධිපතිතුමා එය මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත භාර දුන්නේය.


    දේශීය සිනමාව නගාසිටුවීම පිළිබඳ කෙටුම්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ චිත‍්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා විසිනි. ජනාධිපතිතුමා විසින් එම කෙටුම්පත රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත භාර දෙනු ලැබීය.


    සංගීත ක්ෂේත‍්‍රයේ ගීත රචකයින්, සංගීතඥයින්, ගායක ගායිකාවන් සඳහා වූ කර්තෘ භාගය සම්බන්ධ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තාව කමිටු සභාපති ජනාධිපති අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා විසින් එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඞී.එන්. රංජිත් අශෝක මහතා වෙත භාර දෙන ලදී.


    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙම කමිටු වාර්තාවල නිර්දේශ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප‍්‍රධානීන් නිසි ලෙස සිය වගකීම් ඉටුකරන ඇති බව තමන් විශ්වාස කරන බවයි.


    එමෙන්ම මේ පිළිබඳ වගකීම් දරන සියලුදෙනා සති දෙකකට වරක් රැස්වී මෙම නිර්දේශ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ කටයුතු සොයා බැලීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
    අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, රංජන් රාමනායක යන මහත්වරුන් සහ කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya