Print this page

සිංගප්පූරුවේ අගමැති ශ්‍රී ලංකාවට පැමිණෙයි

ජනවාරි 22, 2018

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා ඇතුළු දූත පිරිස ලංකාවේ දින 03 ක සංචාරයක් සඳහා මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම පිරිස සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 303 දරන ගුවන් යානයෙන් අද(22) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.

1979 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹූ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව, අන්‍යොන්‍ය අවබෝධය, ගෞරවය සහ පුද්ගලාන්තර බැඳීම් මත ගොඩනැඟුණු ශක්තිමත් හා සමීප ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් පවත්වයි. සිංගප්පූරු අගමැතිවරයකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙනුයේ වසර දහතුනකට පසුවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලබන අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබෙනු ඇත.