Print this page

දූෂිත දේශපාලනඥයින්ට නිසි දඬුවම් ලබාදෙනවා - ජනපති

ජනවාරි 19, 2018
ජනාධිපති ධුරයෙන් නික්ම යන්නේ කවදාදැයි ඇතැමුන් ප‍්‍රශ්න කළත් තමන් ජනාධිපති ධුරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයින්ට නිසි දඬුවම් ලබාදීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
 
දූෂණයට, වංචාවට එරෙහිව ජනතාවාදී ගමනක් යාමට ජනතාව සමග පාරට බැසීමට වුවද සූදානම් බවද ජනාධිපතිතුමා අවධාරණය කරයි.
 
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) පස්වරුවේ කොස්ගම පැවැති උත්සවයකට එක්වෙමිනි.
 
මෙම පෙබරවාරි 10දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දේශපාලන බේදයකින් තොරව රටට ආදරය කරන සියලු දේශපාලනඥයින් එක්කර ගනිමින් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඊට එක්වන ලෙස මේ රටේ සියලු ආගමික නායකයින්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට මෙන්ම රටට ආදරය කරන සියලු ජනතාවට ගෞරවයෙන් ආරාධනා කරන බව ද කියා සිටියේය.
 
රටත්, ජාතියත් වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස කිසිසේත් අතපසු කළ නොහැකි අතර එම ගමන සාර්ථකව ඉදිරියට යාමට ආදර්ශවත් දේශපාලනඥයින් පිරිසක් රට තුළ ගොඩනැගිය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
 
- DB-