Print this page

රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙයි

ජනවාරි 08, 2018

රජයේ සාර්ථක මූල්‍ය කළමනාකරණය හේතුවෙන්  වසර 63කට පසු රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව රජයේ සාර්ථක ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63කට පමණ පසුව අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 21.9ක අතිරික්තයක් වාර්තා වී ඇත. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් කළේ 1954 වසරේ දීය. එය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් ලෙසිනි. පසුව 1956 වසරේ දී ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2%ක අයවැය අතිරික්තයක් වාර්තා විය.

1950 සිට 1970 දක්වාත්, 1973 සිට 1993 දක්වාත් අයවැය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. එහෙත් 1994 සිට මේ දක්වා අයවැය පරතරය, ජංගම ගිණුමේ පරතරය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ පරතරයේ ද ඍණ අගයක් එම කාලවල අඛණ්ඩව පැවැතිණි.

2017 වසරේ ගෙවී ගිය මාස දහයක කාලය අවසානයේ රාජ්‍ය ප්‍රාථමික මූල්‍ය ශේෂය රුපියල් බිලියන 21.9ක් ලෙස දැක්වෙයි. 2016 වසරේ මුල් මාස දහය අවසානයේ එම අගය දැක් වූයේ රුපියල් බිලියන 37ක ඍණ අගයක් ලෙස ය. ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා වීම රටක ආර්ථිකයේ වර්ධනීය ලක්ෂණයක් වන අතර මෙය ණය ගෙවීමේ කළමනාකරණ හැකියාව මෙමගින් තවත් ඉහළ යනු ඇත. 2017 වසරේ අවසානයේ සමස්ත ප්‍රාථමික මූල්‍ය ශේෂ අතිරික්තය තව දුරටත් සාධනීය මට්ටමක පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. පොලී ගෙවීම් හැර සමස්ත රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායමේ ඇති අතිරික්තය ප්‍රාථමික මූල්‍ය ශේෂ අතිරික්තයක් ලෙස සැලකේ.

2016 වසරට සාපේක්ෂව 2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය ආදායම 10.4%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 1473 දක්වා ඉහළ ගොස් තිබේ. 2016 එම කාල වකාවනුව තුළ එම ආදායම වූයේ රුපියල් බිලියන 1333කි. එසේ ම එම මාස දහයක කාලය තුළ  රටේ බදු ආදායම ද රුපියල් බිලියන 1332 සිට1470 දක්වා 14.2%කින් වර්ධනය වී ඇත.

2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය වියදම පසුගිය වසරට සාපේක්ෂව 9.5%කින් ඉහළ ගොස් තිබේ. 2016 වසරේ මුල් මාස දහය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 1881ක් වූ අතර 2017 වසරේ එම කාලය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 2060කි. පොලී ගෙවීම රුපියල් බිලියන 510 සිට 608 දක්වා 19.3% ඉහළ ගොස් ඇත. මීට අමතරව රාජ්‍ය සේවා වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වන වියදම් ද පිළිවෙළින් 3.1%කින් සහ 5.8%කින් ඉහළ ගොස් තිබේ.