Print this page

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 17 වෙනිදාට පෙර

දෙසැම්බර් 04, 2017

මෙවර පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 04 දිනට පසු හා  පෙබරවාරි 17 වෙනිදාට පෙර පැවැත්වීමට බලාපොරොත්තු වන බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මේ වන විට නාමයෝජනා ඉදිරිපත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් නාමයෝජනා භාර ගැනීම අදියර දෙකක් යටතේ සිදුවුවත් ඡන්දය ප්‍ර‍කාශ කිරීම එක් දිනයක පවත්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 

මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේ අද (4) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති  ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා  රජයේ දේපළ අයුතු භාවිතය පිළිබඳ තහනම් කිරීම් ගැසට් නිවේදනයක් අද දින නිකුත් කරන බවද දේශප්‍රිය මහතා පැවසීය.

 

රාජ්‍ය දේපල ,නිළධාරීන්, වාහන, ගොඩනැඟිලි යනාදි කිසිවක් කිසිදු පක්ෂයක්, කණ්ඩායමක්, අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයට පත් කිරීම හෝ අගතියට පත්කිරීමට යොදවාගත නොහැකි බවත් මැතිවරණ පැමිණිලි  විමර්ෂණය කිරීමේ ඒකක ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

 

මැතිවරණ නීති බලාත්මක කිරීමේදී පෙළපාලි පැවැත්වීම, බඩුභාණ්ඩ බෙදිම තහනම් වන අතර  මැරක්‍රියා, තර්ජනය කිරිම් හා  ආගමික සිද්ධස්ථාන පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන කිසිවක් පක්ෂ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා යොදවා ගැනීම නිතියෙන් තහනම් බව පැවසු දේශප්‍රිය මහතා  පැවසීය.

 

මෙම ඡන්ද විමසිමේදී මනාප තරඟයක් නොමැති බැවින් පෝස්ටර්,  රූපවාහිනි දැනවීම්   ඉදිරිපත් නොකරනු ඇතැයි අපේක්ෂා කරන බවත් සෑම සභාවකට එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට තමන්ගේ පක්ෂය, කණ්ඩායම වෙනුවෙන් මධ්‍යගත එක් කාර්යාලයක් පවත්වාගෙන යා හැකි අතර  සෑම අපේක්ෂකයකුටම අදාළ කොට්ඨාසයේ හෝ නිවසේ පමණක් එක් කාර්යාලයක් බැඟින් පවත්වාගෙන හැකි බවත් එය ඡන්ද දිනයේ පවත්වාගෙනයාම තහනම් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.