Print this page

ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම හෙට

දෙසැම්බර් 03, 2017

යුනෙස්කෝ සංවිධානය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජ්‍යාත්‍යාන්තර සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  04 (හෙට) කොළඹ දී පැවැත්වේ.

අන්තර්ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු කලාපීය පාර්ශ්වකරුවන්, දේශීය හා අන්තර්ජාතික මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් 200 ක් පමණ මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගීවීමට නියමිතය.

 

මෙම සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීම, ජනමාධ්‍යවේදීන්ට එල්ලවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව වත්මන් ශ්‍රී ලංකා රජයේ ධනාත්මක ක්‍රියාකාර්තවය අගය කිරීමකි.

 

මෙහි ප්‍රධාන ආරාධිත දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන අතර, ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ යුනෙස්කෝ සංවිධානයේ ජනමාධ්‍ය  හා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ගයි බර්ගර් මහතා මෙහිදී විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.

 

ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් 2017 ඔක්තොම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කළ ජනමාධ්‍යවේදීන්ට සිදුවන හිංසනයට එරෙහි මුක්තිය පිළිබඳ ගෝලීය දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමේ සුභවාදී පරිසරය තුළ මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම ද සුවිශේෂි වේ.

 

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ගතයුතු ඉදිරි පියවර හා විසඳුම් හඳුනාගැනීම මගින් ජනමාධ්‍යවේදීන්ට එල්ලවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අපරාධ සදහා දඩුවම් ලබානොදීමේ අරගලය ශක්තිමත් කිරීම හා මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා වූ ආසියානු රාමුව පුළුල් කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වේ.