නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවේ ඉදිරි ආර්ථීක ගමන පිළිබදව වෙනස් ඇසකින් දැන් අප බැලිය යුතුයි

    ජූලි 07, 2014
    ලංකාවේ ආර්ථීක ඉදිරිගමන පිළිබඳව ප්‍රහර්ශයට පත් වු අතිශෝක්තියත්, නිර්දය හරසුන් විවේචනයේත් අන්ත දෙකට සීමා නොවී වෙනස් ඇසකින් දැන් අප බැලිය යුතු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී. 
    ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථීක උපායමාර්ගය කවරක් විය යුතු ද යන්න පිළිබඳ තවමත් පැහැදිලි සංවාදයක් නැත. සේවා ආර්ථීකය තවදුරටත් පුළුල් කිරීම හා විනෝදාස්වාද ආර්ථීකය වේගවත් කිරීම මගින් ආර්ථීකය තවදුරටත් වර්ධනය කළ හැකි යැයි ඇතැම්හු කල්පනා කරති. ඒ අනුව ක්‍රියාත්මක වෙති. තවත් අය රටේ පවතින දුෂණය හා යහපාලනයේ ගැටලු පිළිබඳව මිස ඉහත කී උපායමාර්ගය ප්‍රශ්න නොකරති. මන්ද එය ඔවුන්ගේ ද එකම උපායමාර්ගය නිසාය. රටේ ආර්ථීක ප්‍රතිපත්තිය පැරණි සංවෘත ආනයන ආදේශක නිෂ්පාදනය සදහා දේශීය සම්පත් යොදාගත් යුගය වියයුතු යැයි තර්ක කරන්නෝ ද වෙති. තවත් බොහෝ දෙනෙකුට මේ පිළිබදව කිසිදු අදහසක් නැතිවත් උස් හඬින් විවේචනයේ යෙදෙති. 
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලේ අද (07) පැවති තාක්ෂණ හා පර්යේෂණ සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු ආයෝජන සැලැස්ම පිළිබඳ ''විද්වත් සංගායනාව'' ආරම්භ කරමිනි. 
     
    අපි අපේ ඉතිහාසයේ විවිධ ආර්ථීක මාදිලි ක්‍රියාත්මක කර ඇති අතර විවිධ සමාජ දේශපාලන ප්‍රශ්න ආර්ථීක වර්ධනයට බාධා ලෙස හඳුනාගෙන ද ඇත. විශේෂයෙන් 1956-70 යුගයේ ක්‍රියාත්මක වු රජය මැදිහත් වී බැර කර්මාන්ත හා කෘෂිකර්මාන්තය කිරීමෙන් රටේ ආර්ථීකය ගොඩනැංවීමට දැරූ උත්සාහයත්, 1970 -75 යුගයේ ආනයන ආදේශක නිපදවීම මගින් ස්වයංපෝෂණය වීමට දැරූ උත්සාහයත්, 1977න් පසු අපනයන නිෂ්පාදන මුලික කරගත් නිදහස් වෙළෙඳපොළ ක්‍රමයත් අප විසින් අත්හදා බලා ඇත. 
     
    නිදහස් වෙළෙඳපොළ ක්‍රමයට මුල දී සංස්කෘතික ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පසුව උතුරේ හා දකුණේ චක්‍රීය ත්‍රස්ත ප්‍රහාරවලට මුහුණදීමට ද සිදුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථීකය විවෘත කළ මුල් වකවානුවේ (1978-82) ආර්ථීක වර්ධනය ඉහළ ගිය අතර රට තුළ අපනයන නිෂ්පාදන විශේෂයෙන් ඇගලුම් අපනයනයට පදනමක් වැටිණි. දකුණු ආසියාතික කලාපයේ මුලින්ම විවෘත කළ ආර්ථීකය නිසාත්, ගම්බද ශ්‍රම වෙළඳපොළ ලාභයට තිබු නිසාත්, බටහිර දේශපාලන උපායමාර්ගය අනුව කටයුතු කළ නිසාත් ණය, ආධාර හා ආයෝජන ගලා ආවේය. නමුත් 1987-91 වකවානුව පෙන්වා දුන්නේ විරැකියාව ණයබර, උද්ධමනය,  දේශපාලන අස්ථාවරත්වය, සමාජ අසහනය ආදියෙන් රට උග්‍ර අර්බුදයක කොටු වී ඇති බවය. 1994-2000 වකවානුවේ මෙය කිසියම් දුරකට ස්ථාවර වී නැවත 2001-04 වකවානුවේ අර්බුදයට ගියේය. දේශපාලන අස්ථාවරත්වය, බලශක්ති අර්බුදය හා සමාජ අසහනය කරළියට පැමිණීම සිදු වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ලංකාවේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබද විවේචන දෙකක් පවතී. එකක් නම් ආණ්ඩුව හා පුද්ගලික අංශය පර්යේෂණ සඳහා වියදම් කරන්නේ සොච්චමක් බවය. අනෙක් කර්කශ විවේචන නම් රාජ්‍ය අංශයට හා පුද්ගලික අංශයට පර්යේෂණ සඳහා දී ඇති අරමුදල් හා බදු සහන ආදියෙන් ආර්ථීකයට ප්‍රතිඵලදායක කිසිවක් සිදු නොවී ඇති බවය. 
     
    පළමුව කිව යුත්තේ පර්යේෂණ සඳහා හෝ අධ්‍යාපනය සඳහා ආයෝජන කළ පමණින් ආර්ථීකයට ප්‍රතිලාභ  නොලැබෙන බවය. පර්යේෂණ වාණිජකරණය වන වෙළඳපොළක්, උගතුන් කළමනාකරුවන් කරනා වාණිජ සමාජ වටපිටාවක් ද තිබිය යුතුය. ශ්‍රී ලංකාව දැනුම් ආර්ථීක සංගුණකයෙන් ඉතා පසුපසින් සිටින්නේ මේ නිසාය. 
     
    අපි ඉදිරි පස් වස (2015-2020) සඳහා ප්‍රමුඛතාව දියයුතු ක්ෂේත්‍ර දහයක් හඳුනාගෙන ඇත. ඒවානම් ජලය, ආහාර, සෞඛ්‍යය, නිවාස, බලශක්තිය, ඇගලුම්, ඛනිජ සම්පත්, දැනුම් සේවාවන්, මුලික විද්‍යාවන් හා තාක්ෂණයන්, පරිසරය ලෙසය. එමෙන්ම ඒ සඳහා ක්‍රියාමාර්ගික මැදිහත්වීම් දහයක් ද හඳුනාගෙන ඇත. ඒ ප්‍රතිපත්ති සම්පාදනය, පර්යේෂණ, නව උත්පාදන, නිනිති තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, දේශිය දැනුම, විද්‍යා යටිතල පහසුකම්, හැකියා ප්‍රවර්ධනය හා අලෙවිකරණය හා ප්‍රවර්ධනය ලෙසය.
     
    1952 හා 1972 පස් අවුරුදු සැලසුම්වලින් පසු ජාතික සැලසුමක් සහිත රාජ්‍ය ආයෝජනයක් සිදුවී නැත. ඉහත පර්යේෂණ ආයෝජනය රාජ්‍ය හා පුද්ගලික දෙපාර්ශවය සමගම කළයුතු ක්‍රියාවලියකි. මේ සඳහා අධ්‍යාපනය, ආර්ථීක හා මුල්‍ය ප්‍රතිපත්ති, සමාජමය ප්‍රතිපත්ති හා දේශපාලන ප්‍රතිපත්තිවල ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යය. ශ්‍රී ලංකාවට තිරසර අනාගතයක් අවශ්‍ය නම් අපි රට ඒ වෙනස කරා මෙහෙය විය යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
    MAP
    sangayana1
     
    sangayana5sangayana3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya