Print this page

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයට ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්.... Featured

ඔක්තෝබර් 10, 2017
 ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පවත්වන කොඩි අලෙවි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළැදවීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සරත් කුමාර මඩුගස්වත්ත මහතා අතින් ගරු ජනාධිපතිතුමා වෙත කොඩිය පැළදවීම සිදුවූ අතර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් ගරු ජනාධිපතිතුමා අතින් දෘෂ්‍යාබාධිතයන් වෙත සුදු සැරයටි පිළිගැන්වීම ද සිදුවිය.
මෙහිදී දෘශ්‍යාබාධිත ප්‍රජාවට බලපාන ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර එම ගැටලූ ඇතුළත් සංදේශයක් ගරු ජනාධිපතිතුමා වෙත භාරදීම ද සිදුවිය.
දෘශ්‍යාබාධිත තැනැත්තන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරමින් පවතින ශ්‍රවණාගාරය සම්පූර්ණ කරගැනීමට රුපියල් ලක්ෂ 17ක මුදලක් අවශ්‍ය බවට එම මණ්ඩලය විසින් ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක්  එම අවස්ථාවේදීම එම මණ්ඩලය වෙත පිරිනැමීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සරත් කුමාර මඩුගස්වත්ත, එහි ලේකම් පද්මකුමාරි කරුණාතිලක ඇතුඑ එම සංගමය නියෝජනය කරමින් සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )