Print this page

පාසල් ක්‍රිකට් සඳහා ක්‍රිකට් ප්‍රවීනයන්ගෙන් උපදේශක කමිටුවක්

සැප්තැම්බර් 13, 2017

කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී  ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමඟ ඊයේ (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ දී 19 න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීමේ කමිටුවට පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින්  නියෝජිතයින් දෙදෙනකුට සහභාගි වීමට පෙර තිබූ අවස්ථාව යළි ලබාගැනීමටත්, සියලුම පළාත් නියෝජනය වන පරිදි සියලුම පහසුකම් සහිතව උසස් තාක්ෂණික ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, ක්‍රිකට් සංචිතයට ඇතුළත්වන සිසුන් සඳහා මසකට රුපියල් 2,500 ක දීමනාවක් ලබා දීම, පළමු ශ්‍රේණියේ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය සාධනීය මට්ටමකට ගෙන ඒමට පියවර ගැනීම සහ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයින්ගේ විනය සහ සදාචාරාත්මක ප්‍රතිපත්තීන් ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම යනාදී කරුණු සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

 
එසේම ක්‍රීඩකයින්ගේ පෝෂණය සම්බන්ධ දැනුම සහ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමුකිරීමටත්, පාසල් මට්ටමේ ක්‍රීඩකයින් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සහ පවතින නීති රීති දැඩි කිරීමටත් යෝජනා වූ අතර දෙමාපියන් සහ ආදී ශීෂ්‍යයින්ගේ මැදිහත්වීම් සාධනීය මට්ටමකට ගෙන ඒමත්, 13 න් පහළ තරගවල තරගකාරිකත්වය අඩු කර සහභාගිවී අත්දැකීම් ලබාගැනීමට අවස්ථා සැලසීම සහ ක්‍රීඩාවේ ජීවගුණය ගැන අවබෝධය ලැබීමට අවශ්‍ය අවස්ථා සැලසීම පිළිබඳ අවධානය යොමු  කර තිබේ.

මීට අමතර ව පාසල් ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ අවශ්‍ය නීති රීති යාවත්කාලීන කිරීමත් ක්‍රිකට් පුහුණුකරුවන් බඳවාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමත් විවිධ ආයතන මගින් සංවිධානය කරන තරගාවලි  රාශියක් පැවත්වීම වෙනුවට තෝරාගත් තරගාවලි කිහිපයක් පමණක් පැවැත්වීමට කටයුතු කිරීම, දිවයිනේ පිහිටි ප්‍රමිතිගත ක්‍රිකට් ක්‍රීඩාංගන වල පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා පුහුණුවීමට අවස්ථා සලසාදීම සහ ලෙදර් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොමැති  එහෙත් දක්ෂතා සහිත ක්‍රීඩකයින්ට  ඒ සඳහා යොමුවීමට අවශ්‍ය සහය ලබාදීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

එසේ ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් භාවිතා කරන ප්‍රමිතියෙන් යුක්ත යෝග්‍ය ක්‍රීඩා උපකරණ මිළ අධික බැවින් ඒවා සඳහා තීරුබදු සහන ලබාදීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බැලීමට අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබී ය.

මීට අමතර ව දැනට ක්‍රීකට් ක්‍රීඩා නොකරන පාසල්වල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කණ්ඩායමක් කලාප මට්ටමින් සකස් කිරීමටත් පළාත් මට්ටමේ සංචිත පිහිටුවීම සම්බන්ධව ද සාකච්ඡා කෙරිණි.

ප්‍රවීන ක්‍රීඩකයින්ගේ අදහස් හා යෝජනා ඇතුළත් කරගනිමින්  පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ උපදේශක කමිටුවක් පත් කළ අතර සිදත් වෙත්තමුනි, රොජර් විජේසූරිය, මහේල ජයවර්ධන, ජයන්ත සෙනෙවිරත්න, කාල්ටන් බර්නාඩ් යන මහත්වරුන් සහ  පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් පුහුණුකරුවන් ඇතුළු පිරිසකගෙන් කමිටුව සමන්විතයි.  මෙම උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කරන වාර්තාව අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් (පාසල් කටයුතු) අශෝක සේනානි හේවගේ, ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද සිදත් වෙත්තමුනි, රොජර් සෙනෙවිරත්න,මහේල ජයවර්ධන ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා පාසල ක්‍රිකට් සංගමයේ නිලධාරීන් පිරිසක්ද  එක් ව සිටියහ.