අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පලතුරු ප්‍රවර්ධන සතියක්

    ජූලි 04, 2014
    දේශීය පලතුරු පරිභෝජනය ඉහළ නංවමින් පලතුරු වගාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය සමඟ එක්ව විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව ජූලි 14 සිට 21 දක්වා පලතුරු ප‍්‍රවර්ධන සතියක් කි‍්‍රයාත්මක වේ. ඊට සමගාමීව හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේ පලතුරු සැණකෙළියක් පැවැත්වීමට ද  සැලසුම් කර තිබේ. 
     
    මෙහි දී වෙළෙඳපොළ තුළ පලතුරු සුලබ කිරීම සඳහා පලතුරු ගම්මාන ව්‍යාපෘතියක් ඇති කරමින් තෝරාගත් පලතුරු ගම්මාන කිහිපයක වගාකරුවන් සඳහා නොමිලේ පලතුරු පැළ ලබාදීම කටයුතු කෙරේ. තවද පලතුරු ගස් පුනරුත්ථාපනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පුහුණු කිරීමේ නිලධාරීන් හට විශේෂිත කප්පාදු කිරීමේ උපකරණ කට්ටල ලබාදීමත් අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
     
    නිරෝගී ජීවිතයක් උදෙසා පලතුරු ආහාරයට එක් කර ගැනීම ඉතා වැදගත් ය. පුද්ගලයෙකු දිනකට පලතුරු ග‍්‍රෑම් 200ක් වත් පරිභෝජනය කළ යුතු වුවත් බොහෝ දෙනා දිනකට එක් පලතුරක් හෝ තමන්ගේ ආහාරයට එක් කර ගැනීමට උනන්දු වන්නේ නැත. මේ නිසා ශ්‍රී ලංකාවේ දේශීය පලතුරු පරිභෝජනය ඉතා අවම මට්ටමක පවතී. 
     
    වතු වගාවේ අතුරු බෝගයක් ලෙස පලතුරු වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ තෝරාගත් වතු සමාගම්වලට නොමිලේ පැළ ලබා දීමටත්, අවාරයේ මල් උත්තේජනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තාක්ෂණික තොරතුරු පති‍්‍රකා කට්ටලයක් හා අදාළ හෝමෝන ඇතුළත් මල්ලක් නොමිලේ ලබා දීමටත් පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය සැලසුම් කර තිබේ. පලතුරු ප‍්‍රවර්ධන සතිය තුළ පාසල් ළමුන් අතර පලතුරු පරිභෝජනය ඉහළ නැංවීම සඳහා තෝරාගත් පාසල් 10ක් තුළ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද නියමිතය.
     
    ජූලි 14- 21 දක්වා පැවැත්වෙන පලතුරු සැණකෙළිය තුළ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ප‍්‍රදර්ශන කුටි රැසක් නැරඹීමට මහජනතාවට අවස්ථාව උදා වේ. ගුණාත්මක තත්ත්වයේ පැළ මිලදී ගැනීමටත් පොහොර, කෘෂි රසායනික හා උපකරණ මිලට ගැනීමටත් පලතුරු වගාව සම්බන්ධයෙන් නොමිලේ උපදෙස් ලබා ගැනීමටත් මෙහිදී අවස්ථාව ලැබේ. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල මූල්‍ය ආයතන මඟින් පලතුරු ක්ෂේත‍්‍රය ආශි‍්‍රත මූල්‍ය උපදේශනය  හා පහසුකම් ලබා ගැනීමට ද පලතුරු සැණකෙළිය පැවැත්වෙන අවස්ථාවේදී ජනතාවට ඉඩ කඩ ලැබෙනු ඇත.
     
    පලතුරු පැළ බද්ධ කිරීමේ ක‍්‍රමවේද, පැළ තවාන් පවත්වා ගෙන යාම, ගෘහ කර්මාන්තයක් ලෙස පලතුරු ආශි‍්‍රත නිෂ්පාදන සිදු කිරීම, අස්වැන්න නෙලීම හා ගබඩා කිරීම ආදි පලතුරු ක්ෂේත‍්‍රය ආශි‍්‍රත පුහුණු වැඩසටහන් හා සම්මන්ත‍්‍රණ සඳහා ද පලතුරු ප‍්‍රවර්ධන සතිය තුළ ඉඩකඩ වෙන් වී තිබේ. මෙම වැඩසටහන්වලට සහභාගී වී පළතුරු ක්ෂේත‍්‍රය ආශි‍්‍රත දැනුම වර්ධනය කර ගැනීමට පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය ජනතාවට ආරාධනා කරයි. 
     
    පලතුරු සැණකෙළියට සහභාගී වන සැමට දැනුම, විනෝදය සපිරි සැණකෙළියක අසිරිය සමඟ නැවුම් අත්දැකීමක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව උදා වේ. වගාකරුවන්ට, ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට, අපනයනකරුවන්ට, පර්යේෂකයන්ට, දේශකයන්ට, පරිසරවේදීන්ට, සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයන්ට, දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට ද පලතුරු  තාක්ෂණය හා විද්‍යාත්මක දැනුම උකහා ගනිමින් පෙර නොවූ විරූ මිහිරක් අත්විඳින්නට මෙම පලතුරු සැණකෙළිය ඉවහල් වන බවත් ඒ සඳහා සහභාගී වන ලෙසත් පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය ප්‍රකාශ කරයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya