Print this page

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්

අගෝස්තු 11, 2017

කොරියානු රජයේ කොයිකා (KOICA) ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාවේ විශේෂ අධ්‍යාපන ගුරුවරුන්ට කොරියාවේ විශේෂ ‍පුහුණු වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව සැලසී  තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය කොරියානු නිල සංචාරයේ දී සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි  අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ මගපෙන්වීම යටතේ මෙම පුහුණු වැඩසටහන සඳහා ලංකාවේ සියලු පළාත් නියෝජනය වන ලෙස තෝරාගත් විශේෂ අධ්‍යාපන ගුරුවරුන් 25 දෙනෙකු සහභාගීකරවීමට නියමිතයි.

 

ඒ සම්බන්ධව නිල සාකච්ඡාවක් ඊයේ (10) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

 

ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ අධ්‍යාපන ගුරු පුහුණු කටයුතුවල යෙදෙන අන්තර්කරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්, සහ විශේෂ අධ්‍යාපන ඒකක ගුරුවරුන්ගෙන් මෙම පුහුණු කණ්ඩායම සමන්විතයි. මෙම වැඩසටහන අදියර 3කින් කෙටිකාලීන සැසි වශයෙන්  ක්‍රියාත්මක වන අතර, විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය සහ ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධව පුහුණුවක් ලබාදීමට අපේක්ෂිතයි. මීට අමතරව 2018 වසරේ දී විශේෂ අධ්‍යාපන ගුරුවරුන් 100 දෙනෙකුට ‍දේශීය පුහුණුවක් ලබාදීමට ද කොරියානු රජය එකඟතාව පළ කර තිබේ.

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ විශේෂ අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 175ක් වෙන් කර ඇති අතර විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් වඩාත් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සාක්ෂාත් කරලීම වෙනුවෙන් ‍අවශ්‍ය භෞතික පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම මානව සම්පත් සංවර්ධනය කිරීමට රජය විසින් විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇත.

මෙම අවස්ථාවට  කොයිකා ආයතනය නියෝජනය කරමින් එහි පුහුණු වැඩසටහන් කළමනාකාරිණී Choi yuna මහත්මිය Soonchun hyang විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Sanghee Lee මහත්මිය සහ වැඩසටහන් සම්බන්ධීකාරිකා Hyojin Kang මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) අශෝකා සේනානි මහතාගේ මූලිකත්වයෙන්, විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂ  කේ. ඒ. ඩී. පුණ්‍යදාස මහතාගේ සහභාගීත්වයෙන්මෙම සාකච්ඡාව පැවැත්විණි.