Print this page

"මහජන සුව-ධන" අධ්‍යාපනික සෞඛ්‍ය ප්‍රදර්ශනය ඇරඹේ

ජූලි 14, 2017

ශ්‍රී ලංකා කායික විශේෂඥ වෛද්‍ය සංගමයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන මහජන සුව-ධන සෞඛ්‍ය ප්‍රදර්ශනය අද  (14) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.



සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහාය ඇතිව සහ ශ්‍රී ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ එක්ව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් පවත්වනු ලබන මෙම අධ්‍යාපනික සෞඛ්‍ය ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද (14) පෙරවරුවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහත‍ාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

 

ශ්‍රී ලංකාවේ පවතින උසස් ප්‍රතිකාර ක්‍රම, නව නිෂ්පාදන හා සේවා පිළිබඳව සාමාන්‍ය ජනතාව, වෘත්තිකයන්, ශීෂ්‍ය ශීෂ්‍යාවන්, විදේශීය ආගන්තුකයන් සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ සෞඛ්‍යායතන අතර දැනුම්වත්භාවයක් ඇති කිරීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන අතර රුධිරගත සීනි පරීක්ෂාව, කොලෙස්ටරෝල් පරීක්ෂාව, ඇස් සහ කන් පරීක්ෂාව ආදී වෛද්‍ය සායනික කටයුතු නොමිලයේ පවත්වනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ නූතන ලෝකය බටහිර වෛද්‍ය විද්‍යාව පිලිබඳව නව සොයා ගැනීම් සිදු කරමින් නවතම හැරවුම් ලක්ෂ නිරිමාණය වන  අවධියකදී මහජනතාවට එම දැනුම ලබාදීම සඳහා මෙවන් ප්‍රදර්ශන පැවැත්වීම ඉතාම වැදගත් කාලීන අවශ්‍යතාවයක් වන බවයි.

 අද (14), හෙට (15) සහ අනිද්දා (16) යන තෙදින පුරාම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ලංකාවේ සෞඛ්‍ය අංශයේ ආයතන විශාල ප්‍රමාණයක් සහභාගි වන අතර රට තුළ ඇති විශේෂඥ සහ නවීනතම සෞඛ්‍ය සේවා පහසුකම් පිළිබඳව ප්‍රදර්ශනය කිරීම එහිදී සිදුවේ.

මේ සඳහා සෞඛ්‍ය අංශවලට සම්බන්ධ වෛද්‍යවරුන් 3000කට අධික ප්‍රමාණයක් සායන සහ උපදේශන සේවාවන් සඳහා සම්බන්ධ වන අතර 100කට වැඩි වෛද්‍ය ප්‍රදර්ශන කුටි ප්‍රමාණයන් මෙහිදී දැකගත හැකිය.

නිල ඇඳුමින් සැරසී මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලුම පාසල්වල ශිෂය ශිෂ්‍යාවන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව ප්‍රදර්ශනය නැරඹීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

විෂ විද්‍යා අංශය සහ ලිංගික සෞඛ්‍ය අංශය මගින් ඒ හා සම්බන්ධ වැදගත් තොරතුරු රාශියක් ඉදිරිපත් කරන අතර මත්ද්‍රව්‍ය සහ දුම්බීම යන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන්ද දැනුම්වත් කිරීම් සිදු වේ. ඊට අමතරව අධිකරණ වෛද්‍ය අංශය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ බොහෝමයක් අංශ පිළිබඳව ද මෙම ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටි වෙන්වී ඇත.

මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට තැපැල්,  විදුලි සංදේශ සහ මුස්ලිම් කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර මහතා සහ වෛද්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.