Print this page

සෞඛ්‍ය අමාත්‍යාංශ නව ලේකම් වැඩබාර ගනී

ජූනි 19, 2017
 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කෙරුණු ජනක සුගතදාස මහතා අද (19) සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
 
කොළඹ විශ්වවිද්‍යාලයේ කලා ගෞරව උපාධිධාරියෙකු වන හෙතෙම එම විශ්වවිද්‍යාලයේම ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන ජනක සුගතදාස මහතා මහාබ්‍රිතානයයේ මෙන්ඡෙස්ටර් විශ්වවිද්‍යාලයේ සහ ඇමරිකානු විශ්වවිද්‍යාලයක ද විවිධ පාඨමාලා හදාරා ඇත. 
 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්  ධුරයට පත්වීමට ප්‍රථම ජනක සුගතදාස මහතා සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය. 
 
ඊට පෙර ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස ද, අපනයන සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස ද, වෙළෙද සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත.