Print this page

පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන්ට විශාල කාර්යයක් සිදු කළ හැකියි

ජූනි 18, 2017

පාර්ලිමේන්තුව තුළ විශාල වෙනස්කම් රැසක් ඇති කළා. පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන්ට විශාල කාර්යයක් සිදු කළ හැකියි යැයි කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවකට සහභාගී වෙමින් ඊයේ(17) මීගමුවේ දී කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ගොඩනගන්න අප බලාපොරොත්තු වෙනවා.පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් අනෙක් මාධ්‍යවේදීන්ට වඩා සුවිශේෂී කාර්යයක් සිදු කරනවා.මාධ්‍යවේදීන් වශයෙන් යුතුකමක් තිබෙනවා මේ රට හරි මාර්ගයට ගන්න.යුක්තිගරුක සමාජයක් සඳහා වැඩකටයුතු ඉටු කිරීමට පාර්ලිමේන්තුවට අවශ්‍ය ශක්තිය ලබාදීමේ වගකීමක් පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ට තිබෙනවා.

අපි පාර්ලිමේන්තුව තුළ විශාල වෙනස්කම් රැසක් ඇති කළා.ආංශික අධීක්ෂණ කාරක සභා,මෙම කාරකසභාවල පක්ෂ විපක්ෂ නියෝජනය තිබෙනවා. බලය බෙදා හැරීම මෙයයි.  

කෝප් කමිටුව සහ කෝපා කමිටුව විශාල වැඩකොටසක් කරනවා.මෙවැනි දෙයට හැකි තරම් ප්‍රසිද්ධියක් ලබාදෙන්න.මේවාට ප්‍රසිද්ධියක් ලබාදීම තුළ රටේ සිදුවන නස්තිය අවම කරගන්නට පුළුවන්. පාර්ලිමේන්තුව වාර්තා කිරීමේ දී වැදගත් මෙන්ම වැදගත් නොවන  කරුණු තිබෙනවා.පාර්ලිමේන්තුවේ වැදගත් යෝජනා දෙකක් සාකච්ඡා කෙරෙනවා. ස්ථවර නියෝග සහ ආචාර ධර්මයි.පාර්ලිමේන්තුවේ ගරුත්වය පිරිහිලා තිබෙනවා.පාර්ලිමේන්තුවේ වැරදි වචන භාවිතය, වැරදි හසිරීම් නිසා පාර්ලිමේන්තුවේ ගරුත්වය පිරිහිලා තිබෙනවා.පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන්ට විශාල කාර්යයක් සිදු කළ හැකියි.

පාර්ලිමේන්තුව තුළ සුළු පිරිසකගේ අශෝභන හැසිරීම් නිස පාර්ලිමේන්තුව කිළිටි වෙනවා.එවැනි දේ තිබෙනවා නම් හෙළි කරන්න.පාර්ලිමේන්තුව වසර 70ක් ඉක්මවනවා. ඒ වෙනුවෙන් ඔක්තෝබර් 03 විශේෂ සැසියක් පැවැත්වෙනවා.ආසියානු පාර්ලිමේන්තු ක්‍රමයේ පරමාදර්ශය වීමට පාර්ලිමේන්තුව විශාල කාර්යයක් කරනවා.ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිගරුක සමාජයක් අනගත පරපුරට  ඇති කිරීමට කටයුතු කරනවා යැයි ද කතානායකවරයා පැවසී ය.