Print this page

කදිරගාමර් ආයතනය දෙස් විදෙස් දැනුම් කේන්ද්‍රස්ථානයක් කිරීමට පියවර

ජූනි 16, 2017

ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, දැනුම පදනම් කර ගත්  කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තිබු, වැරදි ප්‍රතිරූපය නිවැරදි කරමින් ශ්‍රී ලංකාව ලෝකය තුළ ඔසවා තැබීම සඳහා දිවංගත ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ගත් ප්‍රයත්නය ප්‍රසංශනීය බවයි.

කොළඔ 07 ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යයවරයා ඊයේ (15) මේ බව ප්‍රකාශ කළේය.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ද, මෙම ආයතනය ශක්තිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත් බව සඳහන් කළ අමාත්‍ය රවී කරුණානායක මහතා, රට ඉදිරියට ගෙන යෑම සඳහා අළුත් සංකල්ප අවශ්‍ය බවද කීය.

ඒ අනුව නව අදහස් තුළින් රට ඉදිරියට ගෙන යෑමේ සැලසුම් මෙම ආයතනය තුළින් නිර්මාණය කිරිමට හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලොව සියලු රාජ්‍යයන් සමඟ විනිවිද භාවයෙන් කටයුතු කිරිම මගින් ශ්‍රී ලංකාව සියලු අංශයන්ගෙන් ඉදිරියට ගෙන යෑම  ජනාධිපතිතුමාගෙත් අග්‍රාමාත්‍යතුමාගෙත් අපේක්ෂාව වන බවද  අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.