Print this page

යහපත් සමාජයක් ගොඩනැංවීමේ පරම අභිප්‍රායෙන් ඉටුකළ යුග මෙහෙවර ප්‍රසංශනීයයි

අප්‍රේල් 20, 2017

ද්‍රවිඩ ධර්මදූත ව්‍යාපාරයේ සභාපති ආදී භූමිකාවන්හි සුවිශේෂ කාර්යභාරයක් උසුළමින් අප රටේ වාර්ගික සමඟිය, සංහිදියාව වෙනුවෙන්ද, යහපත් සමාජයක් ගොඩනැංවීමේ පරම අභිප්‍රායෙන්ද අනු නාහිමිපාණන් වහන්සේ ඉටුකළ යුග මෙහෙවර පැසසුම් කටයුතු බව ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, ආචාර්ය අතිපූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලීතිස්ස අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අපවත්වීම සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

 

ශෝක පණිවුඩය

 

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, ආචාර්ය අතිපූජ්‍ය බ්‍රාහ්මණවත්තේ සීවලීතිස්ස අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අපවත් වූ බව දැනගන්නට ලැබීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

1936 වසරේ බලපිටිය, බ්‍රාහ්මණවත්තේ උපත ලද අප අනු නාහිමිපාණෝ, 1951 වසරේදී එවකට යාපනය නාගදීප විහාරස්ථානාධිපති වූ බ්‍රාහ්මණවත්තේ ධර්මකීර්ති හිමියන් යටතේ පැවිදි දිවියට සැපත් වූහ. අතිපූජ්‍ය යක්කඩුවේ පුඥාරාම වැනි දැන උගත් භික්ෂූන්වහන්සේලා ඇසුරේ ධර්ම ශාස්ත්‍ර හැදෑරූ අනු නාහිමිපාණන් වහන්සේ, 1966 වසරේ ඉන්දියාවේ මධූරෙයි විශ්ව විද්‍යාලයෙන් දෙමළ භාෂාවෙන් ශාස්ත්‍රවේදී උපාධියද, ආචාර්ය උපාධියද ලබාගත්හ. මුලින්ම ගුරුවරයකු ලෙස ගිරිතලේගම, කුලියාපිටිය, ලාහුගල, කිරිල්ලවල වැනි විවිධ ප්‍රදේශවල සේවය කළ අනු නාහිමිපාණන් වහන්සේ, කැලණිය විදුහලේ සහ කැලණිය ධර්මාශෝක විදුහලේ විදුහල්පති ධූරයෙහිද කටයුතු කර ඇත.

 

දෙමළ භාෂාව මැනවින් හැසිරවීමේ සමත්කම් දැක්වූ අතිපූජ්‍ය සීවලීතිස්ස අනු නාහිමිපාණෝ දෙමළ බසින් ධර්මය දේශනා කළ ස්වාමින්වහන්සේ නමක් වූහ. දිගු කාලයක් නාගදීප විහාරස්ථානයේ වැඩ වාසය කළ, එහි විහාරාධිපති ධූරය දරමින් එම ප්‍රදේශයේ දෙමළ ජනතාවගේද ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූහ. යුද සමයේ නාගදීප විහාරස්ථානයේ සුරක්ෂිත බව වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ යතීන්ද්‍රයාණන් වහන්සේ නමකි.

 

එසේම කිලිනොච්චිය ලුම්බිණි විහාරස්ථානය, කොළඹ නාග විහාරය, බලපිටිය වික්‍රමසිංහාරාමය, ශ්‍රී පාද නල්ලතන්නි බෞද්ධ මධ්‍යස්ථානය ආදී විහාරස්ථානවල විහාරාධිපතිත්වය දැරූ අනු නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර නිකායේ විවිධ තනතුරු හොබවමින්, දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයේ යෙදෙමින්, දෙමළ බසින් මෙන්ම සිංහල බසින් ද ග්‍රන්ථකරණයේ යෙදෙමින් ඉටුකළ ශාසනික, සමාජ මෙහෙවර ප්‍රශංසනීයය.

සාමය සඳහා ආගමික සංහිදියාව සංවිධානයේ නියෝජ්‍ය සභාපති, ආගම් සමුළුවේ නියෝජ්‍ය ලේකම්, ද්‍රවිඩ ධර්මදූත ව්‍යාපාරයේ සභාපති ආදී භූමිකාවන්හි සුවිශේෂ කාර්යභාරයක් උසුළමින් අප රටේ වාර්ගික සමඟිය, සංහිදියාව වෙනුවෙන්ද, යහපත් සමාජයක් ගොඩනැංවීමේ පරම අභිප්‍රායෙන්ද අනු නාහිමිපාණන් වහන්සේ ඉටුකළ යුග මෙහෙවර පැසසුම් කටයුතුය. මා සමඟ ඉතාමත් සමීපව කටයුතු කළ අතිපූජ්‍ය සීවලීතිස්ස අනු නාහිමිපාණන් වහන්සේ මගේ දේශපාලන ගමන් මඟට ද විටින් විට අවවාද අනුශාසනා ලබා දෙමින් ලබා දුන් ශක්තිය මේ අවස්ථාවේ දී මහත් ගෞරවපූර්වකව සිහිපත් කරමි.

 

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය

2017 අප්‍රේල් 20