Print this page

ජපන් ආධාර ආකාර තුනකින්

අප්‍රේල් 19, 2017

මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය යටතේ ජපාන් රජයේ ආධාර ලබාදීම තුන් ආකාරයකින් සිදු වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුම මහතා  (His Excellency Kenichi Suganuma) පැවසීය.

එහි පළමු අවස්ථාව ලෙස ක්ෂණික ආධාර තොගයක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත භාරදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එසේම දෙවැනි අදියර යටතේ මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය ස්ථානය සම්බන්ධයෙන් සම්පූර්ණ තාක්ෂණික වාර්තාවක් ජපාන රජයේ මැදිහත්වීමෙන් ලබාදීමට කටයුතු කරන බව පෙන්වා දුන් තානාපතිවරයා ප්‍ර‍කාශ කළේ ඒ සඳහා ජපානයේ විශේෂ විද්‍යාඥයින් පිරිසක් හෙට (20) දිවයිනට පැමිණීමට නියමිත බවයි.

තවද මෙම ගැටලුව සඳහා දිගුකාලීන විසඳුමක් සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ද කටයුතු කරන බව තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.