අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජුන් ඉදිරියේ ප‍්‍රශස්ති ගයන දේශපාලන සම්ප‍්‍රදායකට ඉදිරියේදී ඉඩ නැහැ- ජනපති Featured

    මාර්තු 20, 2017

    නායකයින් ඉදිරියේ සියලුදේට ,එසේය, කියන දේශපාලනඥයින් නොව ,එසේ නොව මෙසේ යැයි, කරුණු පෙන්වා දිය හැකි තරුණ දේශපාලනඥයින් පිරිසක් රට තුළ බිහි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ විසින් ආරම්භ කරන ලද දේශපාලන ශාස්ත‍්‍රාලය ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විවෘත කරමිනි.

     

    රජුන් ඉදිරියේ ප‍්‍රශස්ති ගයන දේශපාලන සම්ප‍්‍රදායකට ඉදිරියේදී ඉඩ නොමැති බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දැනුම, බුද්ධිය සහ අවබෝධය සමඟ කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් මෙම ශාස්ත‍්‍රාලය ආම්භ කිරීමට පියවර ගත් බව ද කියා සිටියේය.

     

    අද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට තිබෙන ප‍්‍රධානම අභියෝගය දේශපාලනඥයින්ට අත්දැකීම් නොමැතිකම බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා වරෙක ඇද වැටෙමින්, වරෙක නැගිටිමින් ඉදිරියට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ගමන් මග පිළබඳ පක්ෂයේ සෑම තරුණ දේශපාලනඥයෙකු තුළම අවබෝධයක් තිබිය යුතු බව ද කියා සිටියේය.

     

     ඕනෑම දූෂිතයෙකුට සුදු රෙදි හැඳ මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට හැකිවූයේ මනාප ඡන්ද ක‍්‍රමය නිසා බව ද පැවසූ ජනාධිපතිතුමා දේශපාලන පක්ෂවල ඇඳවැටීමත් පුද්ගලාභිවන්දනයත් සිදු වූ මෙම දේශපාලන ක‍්‍රමය නිවැරදි කළ හැක්කේ දැනුම සහ අවබෝධය ලබාදීම තුළින් බව ද කියා සිටියේය.

     

    දේශපාලන න්‍යායකට වඩා නිදහසින් පසු ලංකාවේ දේශීයත්වය, අපේකම් මෙන්ම ලාංකීය සංස්කෘතිය අගයන දේශමාමකත්වයෙන් යුත් බලවේගයක අවශ්‍යතාවය ඉටු කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහි වූ බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා නිවැරදි ප‍්‍රතිපත්තියක්, දර්ශනයක් සහ වැඩපිළිවෙළක් සමඟ පක්ෂය එදා මෙදා තුර ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගමන් කරන බව කියා සිටියේය.

     

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුත්තේ පිරිසිදු හා අවංක දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ගමනක් පැමිණ තිබෙන බවත් පක්ෂයේ කාන්තා හා තරුණ සංවිධාන සාර්ථක අන්දමින් කි‍්‍රයාත්මක කෙරෙන බවත් කියා සිටියේය.

     

    නිවැරදි දර්ශනයක්, ප‍්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැතිව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යාමට කිසිවෙකුට හැකියාවක් නොමැති බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ලොව කොතැනක හෝ සිදුව නොමැති එවැන්නක් ඉදිරියට ද  සිදු නොවන බව කියා සිටියේය.
     
    අනාගතයේදී පිරිසිදු දේශපාලනඥයෙකු බිහිකිරීම වෙනුවෙන් මෙම දේශපාලන ශාස්ත‍්‍රාලය ආරම්භ කර තිබෙන අතර තුන් මාසික පුහුණු පාඨාමාලාවකින් අනතුරුව ජාත්‍යන්තරය පිළිගන්නා සහතික පත‍්‍රයක් පිරිනැමේ. පසුගිය දශක කිහිපය පුරා කථා කළ එහෙත් පක්ෂ ඉතිහාසය තුළ ඉටුකර ගත නොහැකි වූ මෙම දේශපාලන ශාස්ත‍්‍රාලය තම නායකත්වය තුළ ආරම්භ කිරීමට හැකිවිම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී සිය සතුට පළ කළේය.

     

    දේශපාලන ශාස්ත‍්‍රාලය සඳහා ඇතුළත් කෙරුණ පළමු සාමාජිකයින් තිදෙනා සඳහා ලියාපදිංචි කාඩ්පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු  විය.  ,නිදහස්, පුවත් පත ද ජනාධිපතිතුමා වෙත පිළිිගැන්විණි.

     

    අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර, ලේකම් එරික් ප‍්‍රසන්න වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු තරුණ පෙරමුණේ සාමාජික සාමාජිකාවන් මීට එක්ව සිටියහ.

     

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ශාස්ත‍්‍රාලය ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
    (2017-03-19 වන දින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී)

    පක්ෂයේ දේශපාලන ශාස්ත‍්‍රාලයක් පිළිබඳව පසුගිය දශක කිහිපයකදීම කතා කළත්, ආණ්ඩු බලය ඉතා ශක්තිමත්ව තිබූ අවස්ථාවන්වලදීත් ආණ්ඩු බලයක් නොමැතිව විපක්ෂය විදියට ශක්තිමත් සිටි අවස්ථාවන්වලදීත් පක්ෂයේ ඉතිහාසයේ මෙතෙක් කර ගැනීමට නොහැකි වූ දෙයක් වන දේශපාලන ශාස්ත‍්‍රාලයක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ සඳහා ශාන්ත බණ්ඩාර මහතාත් එරික් වීරවර්ධන මහතා ඇතුළු අපේ තරුණ සංවිධානයේ තරුණ නියමුවන් ගත් උත්සාහය, කැපවීම මා ඉතාමත් අගය කරනවා.

    දේශපාලන ශාස්ත‍්‍රාලයක් පිළිබඳව මා දන්නා පරිදි අපේ රටේ දේශපාලන පක්ෂ විසින් ඇතැම් අවස්ථාවල ගනු ලබන උත්සාහයන් අසාර්ථක වූ ඉතිහාසයක් තිබෙන්නේ. විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යා පාඨමාලා හැරෙන්නට බාහිර සමාජයේ මෙවැනි ආයතනයක් දේශපාලන පක්ෂයක් විසින් ආරම්භ කර නැහැ.

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග අපි කටයුතු කළ කාලයේ, මේ ශාලාවේ, කාමරවල සාකච්ඡා පැවැත්වූ බොහෝ වාරවල අපි මධ්‍යම කාරක සභාව ලෙස රැස්වූ බොහෝ අවස්ථාවල තරුණ සංවිධානය ලෙස සාකච්ඡා පැවැත්වූ බොහෝ අවස්ථාවල දේශපාලන ශාස්ත‍්‍රාලයක් පිළිබඳව අපි කතා කොට තිබෙනවා. අද ඒ අඩුව සම්පූර්ණ වූ දවසක්. මේ රටේ නව පරපුරට වගේම පොදු මහජනතාවට දේශපාලනය විෂයක් විදියට හදාරන්න විශ්වවිද්‍යාලයෙන් බාහිරව ඒ අවස්ථාව තිබෙනවා නම්, මේ රටේ ගෞරවනීය අනාගතයක් සඳහා වැදගත් ලක්ෂණයක් වෙනවා. නමුත් එවැනි ආයතන නොමැති නිසා දේශපාලනය පිරිහුණා. 1978 ව්‍යවස්ථාවේ, මනාප ඡන්ද ක‍්‍රමය හඳුන්වාදීමත් සමගම දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්ති සහ දර්ශන යට ගොස් පුද්ගලයින් ගොඩනැගීමේ කාර්යය මේ මැතිවරණ ක‍්‍රමය තුළ ඇතිවුණා. 30 දශකයේ 40 දශකයේ ලංකාවේ වමේ ව්‍යාපාරයත් සමග දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන ආචාර්ය එන්.එම්. පෙරේරා ඊට සමකාලීන මැද මාවතේ ගිය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා වැනි නායකයින් වගේම මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ ප‍්‍ර‍්‍රගතිශීලි ව්‍යාපරයේ කටයුතු කළ සෑම නායකයෙක්ම එක් එක් යුග තුළ මූලිකවම අගය කළේ තමාගේ දේශපාලන දර්ශනය, ප‍්‍රතිපත්තියයි. එයයි ජනතාවට පහදා දුන්නේ.

    1951 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වන විට ශ‍්‍රී නිශ්ශංක මැතිතුමාලා ටී.බී. ඉලංගරත්න මැතිතුමාලා බණ්ඩාරනායක මැතිතුමාගේ සමකාලීන නායකයින් විදියට යුග මෙහෙවර ඉටු කිරීමේ කාර්යයේදී පක්ෂයේ දර්ශනය සහ පක්ෂයේ වැඩපිළිවෙළ පක්ෂයේ ප‍්‍රතිපත්ති සඳහා ප‍්‍රමුඛත්වයක් ලබා දී ජාතික දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළා. ප‍්‍රතිපත්තියක්, දර්ශනයක්, වැඩපිළිවෙළක් ජනතාවාදී ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තිබූ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ 1951 දී ආරම්භ කොට අවුරුදු පහකටත් වඩා අඩු කාලයකින් 1956 වන විට ආණ්ඩුවක් පිහිටුවාලීමට හැකියාව ලැබුණා.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීම මේ රටේ දේශපාලන ව්‍යාපාරයකට වැඩිය නිදහසින් පසු ලංකාවේ පීඩාවට පත්ව සිටී සංස්කෘතික බලවේගවල ඇති වූ දේශපාලනික සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක නිර්මාණයක් සහ බිහිවීමක් වනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ව්‍යාපාරය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන්න සාකච්ඡා කළ අය, සංවාද කළ අය 51 ට පෙරත් 51 න් පසුත් පක්ෂයේ දර්ශනය සහ ප‍්‍රතිපත්තිය පිළිබඳව මූලිකත්වය දුන්නේ, පක්ෂය පිහිටුවීමට මුල්වුණේ දේශපාලන න්‍යායකට වැඩිය එම යුගය තුළ බි‍්‍රතාන්‍ය පාලනයෙන් පසු ලංකාවේ 1506 සිට 1948 වන තෙක් අවුරුදු හාරසිය ගණනක් අපි ආක‍්‍රමණිකයින්ට, විදේශිකයින්ට යටත්වී සිටි රටක් විදියට අපේ උරුමකම්, අපේකම් ඒ සියල්ල ගොඩනැගෙන ලාංකික සංස්කෘතියෙන් සන්නද්ධ දේශීයත්වය අගය කරන දේශමාමකත්වයෙන් යුත් දේශීය කර්මාන්ත මුල් කරගත් ආර්ථිකයක් සමග අපේ දේශීය සංස්කෘතිය ගොඩනැගෙන ජාතික බලවේගයක අවශ්‍යතාවක් සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණේ. ඒ නිසයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ ජනතාවගේ හෘදසාක්ෂියට දැනුණේ. ඒ නිසයි ජනතාවගේ දේශපාලන නාඩිවලට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුණේ් 50 දශකයේ මුල්කාලයේදී. අපේ සංස්කෘතික, කර්මාන්ත පිළිබඳව අපේ ඉතිහාසය පිළිබඳව, එහි ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව, එහි අභිමානය පිළිබඳව වසර දහස් ගණනක රණකාමී ඉතිහාසයක වසර අපි ගොඩනැගුණු මහා ජාතියක් විදියට ඒ ජාතිය වසර හාරසිය ගණනක් යටත්වී සිට නිදහස ලබා ගැනීමත් සමග වසර දහස් ගාණක කතාවත් සමග අපේ උතුම් ජාතියට නැවත හිස ඔසවන්න අවශ්‍යතාවක් ඇතිවුණා. එම අවශ්‍යතාවය තුළයි සංස්කෘතික බලවේග ඇතිවී එහි වේදිකාවක්, කේන්ද්‍රස්ථානයක් වශයෙන් දේශපාලන පක්ෂයක් බවට පත්වුණේ.

    1974 සිට මේ රටේ ආණ්ඩු හැදුනා, ආණ්ඩු වැටුණා, ආණ්ඩු පෙරලුවා. නමුත් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මනාප ඡන්ද ක‍්‍රමය හඳුන්වාදීමත් සමග දේශපාලන පක්ෂ, ප‍්‍රතිපත්ති, දර්ශන කතා කිරීම අනවශ්‍ය වුණා. ඡන්ද ලබා ගන්න පුද්ගලාභිවන්දනය පුද්ගලයින් ඔසවා තැබීම ප‍්‍රමුඛ කාර්යය බවට පත්වුණා. ඕනෑම අශීලාචාර, අවිචාර කටයුත්තක් කරන සමාජයේ පිළිගැනීමක් නොමැති පුද්ගලයෙකුට සුදු රෙදි අන්දවන්න මනාප ඡන්ද ක‍්‍රමය තුළ වුවමනාවක් ඇති වුණා. කුමන හෝ දුරාචාරයක, අශීලාචාරකමක, දූෂණයක, වංචාවක, නීති විරෝධි දෙයක් කළත් ඔහුට සල්ලි තිබෙනවා නම්, සුදු ඇඳුමක් ඇඳගෙන රත්තරං මාලයක් දමාගෙන දේශපාලනයට ඇවිත් සල්ලි වියදම් කරලා දේශපාලන පක්ෂයක් හදන්න හැකියාව තිබෙනවා. මනාප ඡන්ද ක‍්‍රමය සමග මේ රටේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම පිරිහුණා මනාප ඡන්ද ක‍්‍රමය සමගයි. දේශපාලන පක්ෂවල ඇදවැටීමත් පුද්ගල වන්දනාවත් මේ රටේ ඇති වුණේ. මෙයින් අපි කෙසේද මිදෙන්නේ? මෙම ක‍්‍රමය වෙනස් කිරීමට නම්, දැනුම අවශ්‍යය වෙනවා. ලෝකයේ සියල්ල දැනුම සමග වෙනස් වෙනවා. දැනුම, උගත්කම, බුද්ධිය, පරිණතභාවය, බහුශ‍්‍රැතභාවය තුළින් මිනිසෙකුගේ වෙනස්වීම වෙනවා. දැනුම මුල් කරගත් සමාජයක් තුළයි උගත්කම මුල් කරගත් සමාජයක් තුළයි ශාස්ත‍්‍රීය ඥානය මුල් කරගත් සමාජයක් තුළයි, අද අපි ඉන්නේ. දැනුම, උගත්කම සහ ශාස්ත‍්‍රීය ඥානය දේශපාලන ව්‍යාපරයක සිටින පිරිස්වලට වැඩි වෙන්න වැඩි වෙන්න රට හොඳ පැත්තකට යනවා. රටේ දේශපාලන අමනුෂ්‍යයෝ බිහිකරන්න අවශ්‍යයි නම්, පුද්ගලාභි වන්දනාව හොඳයි.

    රජ කාලයේ රජතුමා හොඳ වුණත් නරක කෙනෙක් වුවත් රජතුමා ළඟට ගොස් ප‍්‍රශස්ති කියා ‘එසේය මහරජ ඔබ වහන්සේ කියන දේ අප විසින් එසේම කරන්නේය. ඔබ වහන්සේ මහා රණකාමියෙක් ද බලවතෙක් ද ඔබ වහන්සේට වඩා කෙනෙක් නොමැත්තේය. ඔබ වහන්සේ විසින් කියන්නාවූ ඕනෑම දෙයක් අපි කරන්නේය’. ඒ එදා. නමුත් අද එසේ නොවේ. අද එසේය කියන මිනිසුන් ලෝකයේ බිහි වෙන්නේ නැහැ. එසේද කියා ඇසූවිට නෑ එය මෙසේ කියා කියන්න අද සමාජය සූදානමින් සිටිනවා. ඒ නිසා දේශපාලන නායකයින්ට එසේය කියන්න නොව, එසේ නොවේ මෙසේය කියන්නන් හදන්නයි මේ ශාස්ත‍්‍රාලය ආරම්භ කළේ කියා තමුන්නාසේලාට කිව යුතුයි.

    මගේ නිල නිවස පිහිටා තිබෙන ස්ථානය ඉස්සර හැඳින්වුයේ පැජට් පාර යනුවෙන්. අපි එය මහගම සේකර මාවත ලෙස වෙනස් කළා. එහි ඇති රැස්වීම් ශාලාව හැම කෙනෙක්ම දන්නවා. එම පුංචි රැස්වීම් ශාලාවේ බිත්තියේ දකුණු පස ගසා තිබෙනවා ඡායාරූප තුනක්. එම ඡායාරූප ලෙනින්, කාල් මාක්ස්, මහත්මා ගාන්ධිතුමා ගේ. මගේ නිවසට රාජ්‍ය නායකයෝ එනවා. එම ශාලාවේදී සාකච්ඡා පවත්වනවා. සමහර නායකයින් අහනවා ඇයි ජනාධිපතිතුමා ලෙනින්, කාල් මාක්ස්ගේ ඡායාරූප ගසා තිබෙන්නේ කියා. මොවුන්ව පිළිගන්නේ නැහැ නේද? මොවුන්ට දර්ශනයක් නැහැ නේද කියා අසනවා. මම ඒ සෑම කෙනෙක්ටම දුන් පිළිතුර වන්නේ, මම දේශපාලනයේ ‘අ’යන්න කිව්වේ ඒ දෙදෙනාගේ දර්ශනයෙන් බවයි. මගේ ගුරුවරුන් ලෙස මම ඔවුන්ව සලකන බවයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ ශාස්ත‍්‍රාලය තුළ අපි අධ්‍යයනය කරන්නේ සාකච්ඡා කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය පමණක් නොවේ. එය පැහැදිලිව අපි තේරුම් ගත යුතුයි. මේ ආයතනය ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ඒ ඒ පක්ෂවල ප‍්‍රතිපත්ති සහ දර්ශන ලෝකයේ දේශපාලන දර්ශන සහ ප‍්‍රතිපත්ති රාජාණ්ඩු ක‍්‍රම, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් අන්තර්ජාතික වශයෙන් වැදගත් වන්නාවූ සියලු දේ මෙහිදී හැදෑරීම අත්‍යාවශ්‍ය වෙනවා. සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටුණු ආකාරය ඔබ දන්නවා. ගොර්බචොප් පෙරස්ත්‍රොයිකාව – ප‍්‍රතිව්‍යූහකරණය තුළ සෝවියට් සමූහාණ්ඩුව සම්පූර්ණයෙන්ම වෙන්වුණා. ඒ කාලයේ ධනවාදී රටවල් නේටෝ සංවිධානය අනෙක් පැත්තෙන් සමාජවාදී කොමියුනිස්ට් රටවල් වෝසෝ සංවිධානය යුදමය වශයෙන් අන්තර්ජාතික වශයෙනුත් ශක්තිමත් වෙන්න ජාත්‍යන්තර සංවිධාන සාදාගෙන තිබුණා.

    මාස කිහිපයකට පෙර සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ කොටසක්ව තිබුණු ටජිකිස්ථානයේ ජනාධිපති ලංකාවට ආවා. අගමැතිතුමාගේ ආරාධනයකට ආවේ එතුමා. ටජිකිස්ථාන් ජනාධිපතිතුමා සමග පැවැති රාත‍්‍රී භෝජනයේදී මම එතුමාගෙන් අැහුවා සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටුණේ ඇයි කියා. එතුමා කිව්වා, එයට මූලිකම හේතුව වුණේ, සෝවියට් සමූහාණ්ඩුවේ නායකත්වය ගෙන තිබූ රුසියාවේ නායකයින් වැඩිපුර සැලකුවේ, සම්පත් දුන්නේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල්වලින් රුසියානු භාෂාව කතා කරන රටවල්වලට පමණක් කියා. 91 සිට මේ දක්වාම එතුමායි ටජිකිස්ථානයේ ජනාධිපති.

    පසුගිය අවුරුද්දේ බි‍්‍රතානයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සඳහන් කළා, ඉරාකයට පහරදීම පිළිබඳව මම දැන් කනගාටු වෙනවා. මම සමාව ඉල්ලනවා කියා කිව්වා. ටෝනි බ්ලෙයාර් සහ ජෝර්ජ් බුෂ් දෙදෙනා එකතුවී ඉරාකයට ගැහුවා.

    මම මේ කියන්නේ මම කියවපු පොතක තියෙන දේ. නැත්නම් මේකත් මාධ්‍ය වැරදියට භාවිතා කරයි. මට ඕනි නම් ඒ පොත ඉදිරිපත් කරන්න පුළුවන්. මංගාව දැනුත් ඒ පොත තියෙනවා. ටෝනි බ්ලෙයාර්, ජෝර්ජ් බුෂ් බි‍්‍රතාන්‍ය හමුදාව ඉරාකයට යවලා ඉරාකය යටත් කරගත්තාට පසුව මේ පොත ලියපු කෙනායි කියන්නේ. එහෙම යටත් කරගත්තාට පසුව රාජ්‍ය ලේඛන, පුස්තකාල සේරම ගිනි තිබ්බා. ඒ වගේම උගතුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙඩි තියලා මැරුවා. ඉරාක ශිෂ්ටාචාරය පිළිබඳ මට වඩා දන්න අය ඇති මෙතන. ඒ ශිෂ්ටාචාරය තුළ තිබුණ පෞරාණික දේවල් හොරකම් කරලා ඒ රටවල්වලට අරන් ගියා. මේ වනවිට ඉරාකයේ ලක්ෂ ගණනක මිනිසුන් මැරිලා තියෙනවා යුද්ධය නිසා.

    ඒකේම අනික තමයි ලිබියාව. අපි දන්නවා ඒ රටවල නායකයින් ඔක්කොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෝ නෙමෙයි. පැහැදිලිවම වැරදියි ඒ නායකයින් ගෙනගිය වැඩපිළිවෙළ. නමුත් ඒ නායකයින් කළ වැරදිවලට ඒ රටේ අසරණ ජනතාව පළි නැහැ. ජාතියක්, සංස්කෘතියක් විනාශ කරන්න ලෝකයේ කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒ රටවල් වැරදි මඟ ගිය එක බොහොම පැහැදිලියි. ඒ වැරදි මග ගිය රටවල් නිවැරදි කරන්න ලෝකයේ ප‍්‍රබල නායකයින්ට වෙනත් දේශපාලන, ආර්ථික ක‍්‍රමෝපායන් භාවිතා කරන්න පුළුවන්කම මේ තාක්ෂණික ලෝකයේ තිබෙනවා. ඒක තමයි ඇත්ත. ලෝකයේ මානව නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් වන නායකයෙන් ඉන්නවා නම් ඔවුන්ව කළමනාකරණය කරන්න ලෝකයේ සෑම බලවතෙකුටම පුළුවන්කම ලැබිලා තියෙනවා. වසර ගණනකට පසුව ටෝනි බ්ලෙයාර් කිව්වේ මට වැරදුනා, මට සමාවෙන්න කියලා.

    මේ නිසා තමයි අපි ජාතික දේශපාලනය හා අන්තර්ජාතික දේශපාලනය අධ්‍යයනය කළ යුත්තේ. ඒ සඳහා කැපවීමක් කළයුතු වෙනවා. මම මෙතැන ඉන්න කොට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් මහතා මගේ කනට කරලා කිව්වා අද දේශපාලනය කරන අය කට්ට කාලා නෑනේ කියලා. ඇයි ඒ? දැන් අද මේ රටේ පිරිසිදු දේශපාලනය කරන අයට තිබෙන අභියෝගය කුමක්ද? ඒකට තිබෙන අභියෝගය ශ‍්‍රීලනිප නායකත්වය 1994 සිට අද වෙනකම් රටේ රාජ්‍ය නායකත්වයේ සිටීම නිසා ඇතිවෙලා තිබුණ ආණ්ඩුත් සමග දේශපාලනය කිරීම නිසා කට්ට කාපු තරුණ පරපුර හැදිලා නැහැ. දේශපාලනයේ දුක් විඳලා නැහැ. බරපතළ ගැටුම්වලට මුහුණ දීලා නැහැ.

    මේ ගොඩනැගිල්ලට කතාකරන්න පුළුවන්නම් පක්ෂය තුළ වැඩ කෙරුණු හැටි, පක්ෂය බෙදුණු හැටි, ඇතිවුණ අර්බුද, මේවා පිළිබඳ කොයිතරම් ලස්සනට කතා කරාවිද. හැබැයි ඒ ඉතිහාසය කිසිම කෙනෙක් කියවලා නැහැ. ඒ ඉතිහාසය කිසිම කෙනෙක් ලියලා නැහැ. එදා බණ්ඩාරනායක මැතිණිය සමග දේශපාලනය කළ අය තව වසර ගණනාවකින් අවසන් වුණාම ඒ ඉතිහාස අත්දැකීම් කියන්න කෙනෙක් නැහැ. බණ්ඩාරනායක මැතිතුමා ගැන පොත් රාශියක් ලියලා තියෙනවා. ඒ සියලු දේවල් එක්ක පක්ෂයේ ඉතිහාසය, පක්ෂය වැටුණ හැටි වගේම නැගිටපු හැටි ඔබ දන්නවා. ශ‍්‍රීලනිපය කවදාවත් ආණ්ඩුවක් පිහිටුවන්නේ නැහැ කියලා 78 ව්‍යවස්ථාව හදපු හැටි ඔබ දන්නවා. මම නම් වශයෙන් කියන්නේ නැහැ. ඒ අය අද ජීවතුන් අතරත් නැහැ. සමහරු මගේ හිතවතුන්. 78 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඒ නායකයින් කිව්වා ශ‍්‍රීලනිප ආයිත් බලයට එන්න අපි ව්‍යවස්ථාව හැදුවේ නැහැ කියලා. ඒ විදියට ශ‍්‍රීලනිපය ගැන මනෝ විකාර කියවපු අය එදත් හිටියා අදත් ඉන්නවා. මෙවැනි අභියෝග පක්ෂයට අද ඊයේ දේවල් නෙමේ. බණ්ඩාරනායක මැතිතුමා තරම් දුක්විඳි නායකයෙන් තවමත් බිහිවෙලා නැහැ මේ රටේ. එතුමාට දීපු වධ, වර්ජන, උද්ඝෝෂණ ඒ ඔක්කොම කරලා අන්තිමට මරලත් දැම්මා.
    මේ පක්ෂය බණ්ඩාරනායක මැතිතුමාගේ ලේ වලින් ගොඩනැගුණ පක්ෂයක් මේ පක්ෂය. වාම ප‍්‍රගතිශීලී දේශපාලන පක්ෂයක නායකයෙකුගේ රුධිරයෙන් බිහිවුණ පක්ෂයක්. බණ්ඩාරනායක මැතිතුමා වසර තුනහමාරයි බලයේ සිටියේ. ඒ කෙටි කාලයට කළ දේවල් මේ රටේ ජනතාවගේ හෘදස්පන්දනයටම දැනුණා. දේශපාලන නාඩිවලට දැණුනා. ඒක තමයි යථාර්ථවාදී වූ සත්‍ය කතාව. මම මාක්ස්වාදයේ පොතපත කිියෙව්වේ වයස අවුරුදු 14-15 කාලයේදී. ඒ කාලයේ පොළොන්නරුව නගරයේ තියෙන ඉස්කෝලේ ඇරිලා ගේට්ටුවෙන් එළියට එනකොට ඒ කාලයේ අර කම්කරුවෝ පත්තරය තියාගෙන ළමයින්ට නිකන් දෙනවා මේක අරන් යන්න කියලා. ඉතින් අපි අරගෙන ගිහින් කියවනවා. මාස තුන හතරක් දීලා දැන් පත්තර දුන්න එක්කෙනාට මතකයි පත්තර අරන් යන ළමයි. ඊට පස්සේ හිමින් පස්සෙන් ඇවිල්ලා කියනවා පත්තරේ කියෙව්වද, ඔව් අයියේ පත්තරේ කියෙව්වා. මේ පොඩි සාකච්ඡාවක් තියෙනවා අහවල් තැන කියලා කියනවා. ඒ විදියට තමයි මගේ පළමුවෙනි දේශපාලන නායකයා ෂන්මුගදාසන් නායකතුමා මට හමු වුණේ. ඉතින් එස්.ඩී. බන්ඩාරනායක මහත්තයාත් පොළොන්නරුවේ එනවා ඒ කාලේ.

    මම අවුරුදු 15 කාලේ ඇස්. ඞී. බණ්ඩාරනායක මහත්තයා බයිසිකලේ පොල්ලේ තියාගෙන ගම්වල පදිනවා. රැස්වීම්වලට. එහෙමයි අපි දේශපාලනය කළේ. එහෙමයි අපි කට්ට කෑවේ. එහෙමයි අපි හැදුණේ අද පක්ෂයේ සංවිධායකකම දුන්නහමත් කියනවා තනතුරකුයි, වාහනෙකුයි ඕනේ කියලා ඇවිල්ලා කියනවා. මම ලක්ෂ උයනේ ගෙදර ඉදල්ලා හැතැම්ම 40 ක් පයින් ගිහිල්ලා තියෙනවා එක තරුණ සමිතියක් හදන්න. 70, 77 ආණ්ඩුව තියෙන කාලයේ.

    ෂන්මුගදාසන් මහත්තයා එනවා මාසයකට විතර සැරයක්. ඒ අතරේ සතියෙන් සතියේ වෙන අය එනවා. ඒ ආපුවාම ගිරිතලේ වැව අයිනේ ගහක් යටත් පංති පටන් අරගෙන දවල් කෑම කන වෙලාවට අපේ වැඩකරන සහෝදරයෝ ටිකම තමයි කෑම ටික හදලා තියන්නේ. හුඟක් වෙලාවට බතුයි, සම්බෝලයි, එහෙම නැත්නම් මඤ්ඤොක්කයි සම්බෝලයි. අපි ඒවා කාලා තමයි පංති කෙරුවේ. ඉතිං අපි මෙහෙම කෑම කනවා. මම දවසක් දෙකක් බැලුවා, කෑම කනවෙලාවට නායකතුමා නැහැ. මේක දවස් දෙක තුනක් බැලුවා, ඉතින් මගේ වයස අවුරුදු 15 යි නේ, දවසක් කෑම කාලා ඉවරවෙලා හවස පංති පටන් ගන්න හදනකොට ෂන්මුගදාසන් සහෝදරයා එයාට තිබුණා කලු පාට වොක්ස්වැගන් කාර් එකක්. එයාගේ නෝනා එක්ක තමයි එන්නේ එන දිහාවක. ඉතින් හවස ඇවිල්ලා පංති පටන් ගන්න වාඩිවුණා ගලක් උඩ.

    එතකොට මගේ වයස 15 යි එතුමාගේ වයස මන් හිතන්නේ එතකොටත් 70 ක් විතර. මම ඇහුවා සහෝදරයා අපි කෑම කනකොට හිටියේ නැහැ නේද කියලා. ඔව් සහෝදරයා මගේ උදරයේ පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මම කෑම ටිකක් ගන්න තානායමට ගිහින් එනවා කියලා කිව්වා. මම ඇහුවා තානායමට. අපි මේ හැමදාම නෙළුම් කොලේ කන්නේ මඤ්ඤොක්කයි, සම්බෝලයි සහෝදරයා තානායමට ගිහින් කාලා එනවද, නැහැ සහෝදරයා මට පොඩි අසනීපයක් තියෙනවා, කැම ටික හොඳට වැටෙන්න ඕන කිව්වා. ඉතින් මගේ වයසත් එක්ක මට පොඩ්ඩක් හිත කැඩුණා. තව කරුණු ගණනාවක් වුණා. ඒවා කියන්න වේලාවක් නැහැ. ඉතින් මම එතැනින් අයින් වුණා. එතැනින් අයින් වුණ ගමන් ඒ බව අපේ ලීලාරත්න විජේසිංහ මැතිතුමා පොළොන්නරුවේ එයාට ආරංචි වෙලා, ඒ අවුරුදු 15, 16 කාලයේත් ඒ නායකයෝ ඔක්කොම දන්නවා මාව පොළොන්නරුවේ. ඉතින් ලීලාරත්න විජේසිංහ මහත්තයා මාව හොයාගෙන ඇවිල්ලා මෛත්‍රීර අපි වැඩ කරමු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයක් හදමු කියලා 1967 අගෝස්තු මාසයේ පළමුවෙනිදා ලීලාරත්න වීජේසිංහ මහතාගේ ගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ සංවිධානය හැදුවා.

    ඒ කාලයේ පක්ෂ ව්‍යවස්ථාවේ හැටියට තරුණ සංවිධානයෙත්, කාන්තා සංවිධානයෙත් සභාපති ආසනයේ සංවිධායක, තමුන්නාන්සේලා 2001 මාව පක්ෂයේ ලේකම් විදියට පත්කරගත්තට පස්සේ තමයි මම ව්‍යවස්ථාව වෙනස් කෙරවේ තරුණ සංවිධානයේ සභාපති තරුණයෙක් විය යුතුයි, කාන්තා සංවිධානයේ සභාපති කාන්තාවක් විය යුතුයි කියලා ඒ වෙනස කළේ මම කියලා අමතක කරන්න එපා.

    ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ තමයි ඕලෙවල් මට ලියන්න තිබුණේ. මම කිවුවා දෙසැම්බර් මාසයේ විභාගය කියලා. එවිට මට කිව්වා ඒක ඔයාට ප‍්‍රශ්නයක් නැහැ. මම දන්නවානේ ඔයාගේ හැටි කියලා. අපි ඊට පසුව සාකච්ඡා කරලා අපි සතිපතා එහෙනම් කතා කරමු. රැස්වෙලා කියලා එන්න හදනවිට මන්ත‍්‍රීතුමා මගේ කරට අත දාලා කිව්වා පුතා ඔයා හොදට ඉගෙන ගන්න මම ඔයාට හොඳ රස්සාවක් හදලා දෙන්නම් කියලා. ඒ තරුණ සංවිධානය හදලා පළමුවැනි රැස්වීම.

    මම කියන්නේ ඒකයි අපි පක්ෂ ඉතිහාසය ගත්තත් අපේ දේශපාලන ජීවිතවල ඉතිහාසය ගත්තත් ඒ කටුක දුෂ්කර අත්දැකීම් එක්කයි මේ ගොඩනැගීම වෙලා තියෙන්නේ. ඒ නිසයි මේ දේශපාලන දර්ශන න්‍යාය, ප‍්‍රතිපත්ති එක්ක රටක ජනතාව ගොඩනැගෙන්න ඕන පුද්ගලාභිවන්දනාවෙන් තොරව. ඒ තුළ තමයි නිවැරදි ගමන්මගක යන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ යුගයේ හැටියට මම එදා සංවිධායකවරුන්ටත් කිව්වේ ශ‍්‍රීලනිපය ඉදිරියට යා යුත්තේ පැහැදිලි ලෙසම මේ රටේ අවංක දේශපාලන පක්ෂයක් ගොඩනැගීම සඳහායි කියලා. ඒ තුළ පැහැදිලිවම ජනතාව ඒකරාශි කරන්න පුළුවන්.

    අපිට පසුගිය මාස කිහිපය ගත්තත් පක්ෂය පිළිබඳ කවුරු මොන විවේචන කළත් පක්ෂය ඉදිරියට ඇවිත් තියෙනවා. දැන් ශාන්ත බණ්ඩාර මහතා හා එරික් වීරවර්ධන මහතා කිවුවා පසුගිය කාලයේ තරුණ බල මණ්ඩල හදන්න ගියා කාන්තා සංවිධාන වලට ගියා. ඒ රැස්වීම් මොනතරම් සාර්ථක ද කියලා අපිට බොහොම පැහැදිලිවම පේනවා. එයාලා ඇවිත් කතා කළ දේවල් හා අහපු ප‍්‍රශ්න නිවැරදි දේශපාලනයක අවශ්‍යතාවය ඒ තුළ රට හදන්න දරන කැපවීම පෙන්නුම් කරනවා. අවශ්‍ය වන්නේ නිසි මඟ පෙන්වීමක්. නිවැරදි දර්ශනයක් නැතිව දේශපාලනයෙන් කාටවත් ඉදිරියට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ශ‍්‍රීලනිපය ශක්තිමත් කරගෙන වඩාත් දැනුමෙන් සන්නද්ධව අපේ අලුත් පිරස හැම කෙනෙක්ටම ඉදිරියට යන්න මේ දේශපාලන ශාස්ත‍්‍රාලය ඉතාමත් වැදගත් වෙනවා. ශ‍්‍රීලනිපයට සම්බන්ධ නැති ඕනෑම තරුණයෙක්ට ඇවිත් මේ වැඩපිළිවෙළට එකතු වෙන්න පුළුවන්. මේ තුළින් අවශ්‍ය අවබෝධය දැනුම ලබාගන්න පුළුවන්.

    ලංකාවේ දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්ති එක්ක ගොඩනැගුණ නායකයින් තමාගේ දේශපාලන පක්ෂයේ අනාගතය හා රටේ අනාගතය දෙකම එකක් ලෙසයි සැලකුවේ. රට ගොඩනැගීමයි අංක එක වුණේ. දේශපාලන පක්ෂය නොසලකා වැඩකරනවා නම් ඒ තුළ ගොඩනැගෙන්නේ පක්ෂය නෙමේ පුද්ගලයින්. ඒ නිසා බොහොම පැහැදිලිවම මේ අලුත් තරුණ පිරිස ඔබ සියලු දෙනාටම මම ස්තුති වන්ත වෙනවා. ඔබේ මෙන්ම රටේ අනාගතය වෙනුවෙන් මෙම ශාස්ත‍්‍රාලය වැදගත් වෙනවා. සැමවිටම දැනුමට වටිනාකම ලැබෙනවා මෙන්ම වැඩි සහයෝගයත් ලැබෙනවා. අද මේ වැදගත් කාර්යය සදහා කැපවුණ සියලු දෙනාටම පක්ෂයේ සභාපතිවරයා විදියට සුබපතමින් ආශිර්වාද කරනවා. අපේ උතුම් මාතෘභූමිය ගොඩනගන්න එක අරමුණකින් කටයුතු කරමු. ස්තුතියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya