Print this page

ජාතික සම්මාන ප්‍රදානය ජනපති අතින් මාර්තු 20 වැනිදා නෙළුම් පොකුණ රගහලේදී

මාර්තු 16, 2017

ජාතික සම්මාන ප්‍රදානෝත්සවය මාර්තු 20 දා පස්වරු 6.00 ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

වසර 12කට පසු මෙවර පැවැත්වෙන මෙම ජාතික සම්මාන ප්‍රදාන උ‍ළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට සේවයක්කොට ඇති ශ්‍රී ලංකික පුරවැසියන් 90 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් මෙම සම්මාන පිරිනැමෙන බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

 1986 ජාතික සම්මාන පනත අනුව පිරිනැමෙන මෙම සම්මාන සඳහා සුදුස්සන් තෝරාගනු ලබන්නේ ඒ ඒ පුද්ගලයින් විසින් හා මහජන සංවිධාන මගින් එවනු ලබන නාම යෝජනා විද්වත් විනිශ්චය මණ්ඩලයක් විසින් පරීක්ෂාවට භාජනය කිරීමෙන් පසුවය.  මෙවර මෙම සම්මාන සඳහා අයදුම් පත් 426 ක් ලැබී තිබූ අතර ඉන් 90 දෙනෙකු ‍ තෝරාගනු ලැබූ බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන්   කෙළේය.

මාර්තු 20වනදා පැවැත්වෙන උත්සවයේදී ශ්‍රී ලංකාභිමාන්‍ය, දේශමාන්‍ය, දේශබන්ධු, විද්‍යාජෝති, ශ්‍රී ලංකාරංජන, කලාකීර්ති, ශ්‍රී ලංකා ශිඛාමණී, විද්‍යානිධි, කලාශූරී, ශ්‍රී ලංකාතිලක සහ වීර ප්‍රතාප යන සම්මාන ජනාධිපතිතුමා අතින් ප්‍රදානය කෙරෙන බව ද අබේකෝන් මහතා කීය.

ජාතික සම්මාන උළෙලක් අවසන් වරට පවත්වා ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ 2005 දී බවත් එහිදී 200 දෙනෙකුට මෙම සම්මාන හිමිවූ බවත් ජනාධිපතිතුමගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා කීය.  මෙම සම්මාන ලබන පුද්ගලයින‍්ගේ නම් සහ මෙම සම්මාන පිළිබඳ විස්තර ජනාධිපතිතුමා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ.

විවිධ සංවිධාන සහ පුද්ගලයින් විසින් මේවාට සමාන නම් වලින් විවිධ සම්මාන ප්‍රදානය කරන නමුත් ඒවාට කිසිදු නිල පිලිගැනීමක් නැති බවත් නිල වශයෙන් පිළිගැනෙන්නේ ජනාධිපතිතුමා අතින් පිරිනැමෙන ජාතික සම්මාන පමණක් බවත් ජනාධිපති අතිරේක ලේකම් රෝහන දිසානායක මහතා පැවසීය.

 පාර්ලිමේන්තු කටයුතු හා ජන මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ සහ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.