මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය කාන්තා පරපුරටම මහත් අභිමානයක් Featured

    ජූනි 11, 2014

    කොළඹ දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය සමස්ත කාන්තා පරපුරටම මහත් අභිමානයක් හා රටට මනා ආදර්ශයක් වී ඇති බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

     

    ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩල දහතුනක් එක්ව පිහිටුවා වසරක් වැනි කාලයක් තුළ මෙම දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය මෙරට කාන්තාවන් මෙන්ම රට වෙනුවෙන් සුවිශාල වැඩකොටසක් ඉටුකර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය යටතේ පිහිටුවා ඇති කොළඹ දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය මගින් සංවිධානය කර තිබූ කොළොම්පුර ලිය අභිමන් 2014 කලා උළෙලට සහභාගි වෙමින් පසුගියදා අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මේ බව පැවසීය.

    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී මෙම කලා උළෙල පැවැත්විණි.කාන්තාවන්ගේ නිර්මාණ ඇතුළත් " කොළොම්පුර ලිය" කාන්තා පුවත්පත එළිදැක්වීම, කොළොම්පුර ලිය අභිමන්  2014 සමරු කලාපය එළිදැක්වීම, විවිධ කලා හැකියාවන්ගෙන් යුත් කාන්තා සංවිධාන සාමාජිකාවන්ගේ නර්තනාංග, ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩල සහ වසර 15 – 20 දක්වා අඛණ්ඩව පවත්වාගෙන ගිය කාන්තා සංවිධාන ඇගයීම ද මෙහි දී සිදුවිය.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය මගින් දිස්ත්‍රික්කයේ කාන්තා හිංසනය වැළැක්වීම පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම, බෝ නොවන රෝග පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම මෙන්ම දියවැඩියා රෝග පරීක්ෂාව, හදිසි ආපදාතත්ත්වයක දී කටයුතු කළ යුතු අන්දම ගැන දැනුවත් කිරීම මෙන්ම දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කර තිබේ.

    මීට අමතරව දිස්ත්‍රික්කයේ කාන්තාවන් ස්වයං රැකියා ගැන්වීම උදෙසා අදාළ ව්‍යාපෘති වාර්තා සකස් කර පළාත් සභා නියෝජිතයන් වෙත ඉදිරිපත් කර ප්‍රතිපාදන ලබා දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.

    මීට අමතරව ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මලු බෙදාදීම, දිළිඳු පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම මෙන් ම ප්‍රාදේශීය කාන්තා සංවිධාන නිලධාරිනියන් සඳහා පුහුණුව ලබාදීම ද කොළඹ දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය මගින් සිදු කෙරේ. මෙම සියලු ම වැඩසටහන් ද ඇගයීමට ලක්කරමින් කොළොම්පුර ලිය අභිමන් කලා උළෙලේ දී අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසුවේ, මෙම කාන්තා බලමණ්ඩලය ඉතා ප්‍රායෝගික හා කාලෝචිත වැඩසටහන් රාශියක් දියත් කරමින් කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, සමාජය තුළ අභිමානයෙන් ජීවත්වීමට අවශ්‍ය අනෙකුත් අවශ්‍යතා සපුරාගන්නටත්, කාන්තාවන් දැනුවත් කර විශාල වැඩකොටසක් ඉටුකර තිබීම ප්‍රශංසාවට ලක්විය යුතුයි. අතීතයේ කාන්තාවගේ මුල්ලට කර තිබූ යුගය නිම කරමින් අද අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම පිරිමින් හා සමව සියලු ම ක්ෂේත්‍රවල කටයුතුවලට කාන්තාව සම්බන්ධ වී සිටිනවා. දේශපාලන වශයෙන් ද වෘත්තීමය වශයෙන්ද සලකා බැලූව ද තත්ත්වය එයයි. කාන්තාවට සමතැනට එහා ගිය නිසි තැන ලබා දී තිබෙනවා.



    ඒ වගේම එදා පරාජිත හැඟීමෙන් කටයුතු කළ කාන්තාව මෙන් නොවෙයි අද කාන්තාව ඉතා ශක්තිමත් චිත්ත ශක්තියකින් හා මහා පෞරුෂයකින් යුත්තව ඇය සියලු ම අභියෝග ජයගන්න නොබියව ඉදිරියට එනවා.දියණියක්, සොයුරියක්, දයාබර බිරිඳක්, සෙනෙහෙබර මවක් ලෙස ජීවිතේ විවිධ කඩඉම් තුළ ඇය විසින් ඉටුකරන කාර්යභාරය සමාජයේ ප්‍රගමනයට අසමසම ශක්තියක් වී තිබෙනවා. අද ඇය විශ්වය ජයගන්නට පවා දායකත්වය ලබා දී තිබෙනවා.

    ඇයට හිමි නිසි ගෞරවය ලබාදීම සමාජයේ සෑම පුද්ගලයෙකුගේ ම වගකීමක්, යුතුකමක්. එසේ නොවන්නේ නම් ඔහු තම දියණියට, සොයුරියට, බිරිඳට නැතිනම් සෙනෙහෙබර මවට නිසි ගෞරවයක්, සැලකිල්ලක් නොදක්වන පුද්ගලයෙක් වෙනවා. කාන්තාවට ගෞරව දැක්වීම තුළයි පිරිමියාගේ ගෞරවය රැකෙන්නේ. අවාසනාවට ඒ බව නොදන්නා ඇතැම් පුද්ගලයිනුත් සිටිනවා. ඒ වගේම අපි අමාත්‍යාංශයක් ලෙස රටේ සමස්ත කාන්තා පරපුරම නියෝජනය වන ලෙස ඇගේ ආරක්ෂාව, රැකවරණය හා සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකරමින් සිටිනවා.”

    මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් වන මේජර් ප්‍රදීප් උඳුගොඩ, හෙක්ටර් බෙත්මගේ, මල්ෂා කුමාරතුංග, කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පද්මසිරි යන මහත්ම මහත්මීහු ද පැමිණ සිටියහ.


    ECB

    child2

    child3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya