අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමථ මණ්ඩල ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කෙරේ

    අගෝස්තු 16, 2019

    2019 ජාතික සමථ දිනයට සමගාමීව ජුලි 25 දින සිට සති දෙකක කාලයක් සමථ මණ්ඩල ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සති ලෙස සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කරන ලද අතර ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.ටී. ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වලකන්ද ප්‍රදේශයේ දී සිදු කෙරිණි.


    එහි දී ශ්‍රී ලංකාවේ ගම්සභා හා යටත් විජිත සමයේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම 1958 පිහිටුවන ලද සමගි මණ්ඩල ක්‍රියාවලිය පිළිබඳව ද, 1988 සමථ මණ්ඩල පිහිටුවීමට බලපෑ හේතු හා සමථකරණ ක්‍රියාවලිය තුළ සමථ කරුවන්ගේ කාර්යභාරය පිළිබඳව ද සභාපතිවරයා විසින් ජනතාව දැනුවත් කෙරිණි.
    එපමණක් නොව කාලය හා මුදල් ඉතිරිවීම, අධිකරණයට සාපේක්ෂව සරල හා පහසු ක්‍රමයක් වීම, පාර්ශ්ව කරුවන්ගේ වුවමනා කෙරෙහි අවධානය යොමු කිරීම, තමන්ට පෞද්ගලිකව කරුනු ඉදිරිපත් කළ හැකි වීම, දෙපාර්ශ්වයටම ජය ජය විසඳුම් ලැබීම, දුරස් වූ සම්බන්ධතා යළි ගොඩනැගීම ආදී සමථකරණයේ ඇති වාසි පිළිබඳව ද පැහැදිලි කෙරිණි.
    රුපියල් 5 ක වටිනාකමින් යුත් මුද්දරයක් අළවා ඒ මත අත්සන ලබා සමථ මණ්ඩලයට පෞද්ගලිකව ආරවුල් යොමු කළ හැකි බව, සිවිල් අධිකරණයක විභාග වෙමින් පවතින සමථ මණ්ඩල විෂය පථයට අදාළ වන නඩුවක් වුවත් පාර්ශ්ව කරුවන්ගේ ලිඛිත ඉල්ලීම මත සමථ මණ්ඩලයට ගෙන ආ හැකි බව, සමථ මණ්ඩලයේ දී පාර්ශ්ව කරුවන් එළඹෙන විසඳුම අධිකරණය පිළිගන්නා බව හා අධිකරනයෙන් යොමු කරන ලද වරදකට අදාළව නම් එම සමථය තීන්දු ප්‍රකාශයක් බවට පත්කෙරෙන බව, සමථ මණ්ඩල සාකච්ඡා සඳහා ආරවුලකට අදාළව නම් දින 60 ක කාල සීමාවක් හා වරදකට අදාළව නම් දින 30 ක කාලසීමාවක් තිබෙන බව, සමථ මණ්ඩල සාකච්ඡා සඳහා සහභාගි වීමේ වැදගත්කම මෙන්ම ආරවුලක් පෞද්ගලිකව සමථ මණ්ඩලයට යොමු කරන ක්‍රමවේදය පිළිබඳව ද සභාපතිවරයා තවදුරටත් පැහැදිලි කරන ලදි.
    මෙහි දී සමථ මූල මණ්ඩල ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කෙරෙන අත්පත්‍රිකා හා ස්ටිකර් බෙදා දීම ද සිදු කෙරිණි.
    මේ අවස්ථාවට කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ උප සභාපති එච්.ඩබ්.අමරිසිරි ඇතුළු සමථ මණ්ඩල සාමාජිකයින් හා ප්‍රදේශයේ ජනතාව සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya