අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතියට දායාද කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞරාණික තාක්ෂණික කෞතුකාගාරය

    ජූලි 18, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞරාණික තාක්ෂණික කෞතුකාගාරය සහ පුස්තකාලය 2019 ජූලි මස 03 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් පොළොන්නරුවේදී ජාතියට දායාද කෙරිණ.

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ඉදි කළ කොළඹ පිහිටි කෞතුකාගාරයට පමණක් දෙවෙනි වන මෙම කෞතුකාගාරය මහල් තුනකින් සහ මැදිරි හතකින් සමන්විත වේ. මෙහි බිම් මහල පොළොන්නරුවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු, ප්‍රාග් හා පූර්ව ඓතිහාසික තාක්ෂණය, මැටි බඳුන් හා ලෝහ තාක්ෂණය සහ කෘෂි හා වාරි තාක්ෂණය පිළිබඳව විශ්ලේෂණය කෙරෙන මැදිරි හතරකින් සමන්විතයි.

    පළමු මහලේ මැදිරි තුනක් තුළ ගොඩනැගිලි තාක්ෂණය සහ ලෝහ වාස්තු තාක්ෂණය, සිතුවම් මූර්ති හා දැව තාක්ෂණය, රෙදි පිළි, නාවුක හා ගණිත මිණිත තාක්ෂණය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කෙරෙන අතර මෙම මහලේ නව්‍යකරණ මධ්‍යස්ථානයක් සහ සමරු හා ප්‍රකාශන මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත.

    දෙවෙනි මහළ තුළ පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය, රැස්වීම් ශාලාව සහ කාර්යාලය ස්ථාපිත කර ඇත. ග්‍රන්ථ 30,000 කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙහි ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා සම්බන්ධ පැරණි තාක්ෂණික ක්‍රමවේදයන් සහ සංස්කෘතික උරුමය පිළිබඳව පර්යේෂණ හා අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට අවකාශ සලසා ඇත. ඉතිහාසය, පුරාවිද්‍යා, පැරණි සාහිත්‍ය, ජනශ්‍රැතිය, කෘෂිකර්මය, පැරණි තාක්ෂණය, බෞද්ධ දර්ශනය හා පරිසරය යන විෂයන් පිළිබඳව ලියවුණු ග්‍රන්ථ එකතුවකින් සහ පොළොන්නරුව යුගයේදී රචනා කරන ලද ග්‍රන්ථවලින් මෙම පුස්තකාලය සමන්විත වේ.
    පුස්තකාලය; පොත් බැහැර ගෙන යාමේ පහසුකම්, මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පුවත්පත් කියවීම, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේ සෙල් ලිපි කියවීම, දේශීය හා විදේශීය වාර සඟරා පරිශිලනය, අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය කියවීම් ශාලා පහසුකම් ආදී වශයෙන් පහසුකම් රාශියකින් සමන්විතයි.

    කෞතුකාගාරයට පිවිසීමේ දොරටුවේ සිට අවසානය දක්වා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මාර්ගෝපදේශකයෙකුගේ මග පෙන්වීමකින් තොරව මහජනතාවට කෞතුකාගාරය නැරඹීමට පහසුවන පරිදි නිර්මාණය කර ඇත.
    පොළොනන්රුව රාජධානීය සමයේ භාවිත කළ තාක්ෂණික අංශ අධ්‍යයනය කිරිමට, නැරඹීමට සහ ඒ පිළිබඳව දැනුමක් ලබා ගැනීමට මහජනතාවට අවස්ථාවක් ලබා දීමේ හා ශ්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණික උරුමයන් හඳුනා ගනිමින් ඒ ආශ්‍රිත දැනුම සංරක්ෂණය කොට මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මෙම කෞතුකාගාරය ස්ථාපිත කර ඇත.
    මේ හරහා ශ්‍රී ලංකාවේ පැරණි උසස් තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව උදා වන අතර ශ්‍රී ලංකාවේ පැරණි තාක්ෂණ ක්‍රමවේදය නව තාක්ෂණය හරහා යොදා ගැනීම පිළිබඳව මහජනතාවට අවබෝධයක් ලබා ගැනීමට එමගින් අවකාශ සැලසේ.
    නවීන තොරතුරු සම්පාදන මධ්‍යස්ථානය, ඉතිහාස අධ්‍යයනයේ නූතන ක්‍රමවේද භාවිතය, ස්වයං අධ්‍යයන පහසුකම් හා සුහුරු තාක්ෂණික මෙවලම් භාවිතයට මෙම කෞතුකාගාරය තුළ පහසුකම් සලසා ඇත. තවද මෙමගින් ඉතිහාසයේ අනාධිමත් කාලයක සිට අපේ මුතුන් මිත්තන් විසින් උරුම කර දුන් විශිෂ්ඨ තාක්ෂණික දැනුම ලෝකයට සම්ප්‍රේෂණය කිරීමට අවස්ථාව උදා වනු ඇත. විශේෂයෙන්ම සංචාරක ආකර්ශනයක් ඇති ස්ථානයක් ලෙස ස්ථාපිත කර ඇති මෙම ආයතනය හරහා
    දේශිය මෙන්ම විදේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට රැකුලක් ලැබෙනු ඇත. ඒ හරහා ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ශනය වැඩිකර ගැනීමටත්, අපේ පැරණි තාක්ෂණික ක්‍රම පිළිබඳව ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමටත් හැකියාව පවතී. ඒ තුළින් වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයා ගැනීමටත්, ප්‍රදේශයේ තරුණ තරුණියන්ට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා උත්පාදනය කර ගැනීමටත් දොරටු විවර වනු ඇත. මේ වන විට කෞතුකාගාරයේ නාම පුවරු, Audio සහ Video දර්ශන
    සිංහල, දමිල සහ ඉංග්‍රීසි බසින් පමණක් නිරූපණය කෙරෙන අතර ඉදිරියේදී වෙනත් භාෂාවලින්ද පැහැදිලි කිරීම් සිදු කිරීමට කටයුතු යොදා ඇත. රුපියල් මිලියන 900 ක මුල්‍යමය ප්‍රතිපාදන යටතේ ඉදි කර ඇති මෙම කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය පිළිබඳ අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් වශයෙන් ගත් කළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට මේ පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කිරීමට තෝතැන්නකි. කෞතුකාගාරයේ ඉදි කර ඇති සමරු අලෙවිහල හරහා ශ්‍රී ලංකාවේ ඉපැරණි කර්මාන්ත ඇසුරෙන් නිර්මාණය කරන ලද පුංචි සමරුවක් කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන මහජනතාවට අලෙවි

    කිරීමටත්, ඒ තුළින් එකී කර්මාන්තකරුවන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට පුංචි දායකත්වයක් ලබා ගැනීමටත් අපේක්ෂිතයි.

    දයානි මුණසිංහ
    ප්‍රවෘත්ති නිලධාරී
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya