මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම් බලපත්‍ර 5000ක් ලබා දීමට පියවර

    ජනවාරි 20, 2019

    බලපත්‍ර පදනම මත රජය මගින් ප්‍රදානය කොට ඇති ඉඩම්වල හිමිකරුවන්ට ඒවායේ නීත්‍යානුකූල අයිතිය ලබාදීමේ අරමුණින් රජය මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යටතේ ඉදිරි මාස තුන අවසන් වීමට පෙර මහනුවර දිස්ත්‍රික්කය තුළ බලපත්‍ර 5000 කට ආසන්න ප්‍රමාණයක් ලබා දීමට කටයුතු යොදන බව ඉඩම් සහ පාරිලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    ඒ සදහා අවශ්‍ය මැනුම් කටයුතු කඩිනම් කරදෙන ලෙස වගකිව යුතු ආයතන සහ නිලධාරීන් වෙත දැනුම් දුන් අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අදාළ නිලධාරින්ට දිරි දීමනා ලබාදීමටද කටයුතු යොදමින් පවතින බව පැවසීය. ගයන්ත කරුණාතිලක අමත්‍යවරයා මෙම අදහස් පළ කළේ (18) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති රජයේ ඉඩම් ගැටළු සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමකට සහභාගී වෙමිනි.

    ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ මේ වනවිට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා ඒ යටතේ සැලකිය යුතු පිරිසකට නීත්‍යානුකූල හිමිකම් ලබා දීමට තම අමාත්‍යංශයට පසුගිය වසර කිහිපය තුළ හැකියාව ලැබුනු බව ද පෙන්වා දෙන ලදී.

    මෙම වැඩසටහන යටතේ නීත්‍යානුකූල හිමිකම් නොමැති පූජා භූමි සදහාද පූජ භූමි ඔප්පු ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා පසුගියදා ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එවැනි පූජනීය ස්ථාන 60 කට වැඩි සංඛ්‍යාවකට ඔප්පු ලබා දීමට කටයුතු කළ බව පැවසීය. තවත් එවැනි පූජනීය ස්ථාන 500 ක් පමණ ඇති බව හදුනාගෙන ඇති බවත් ඒවාටද කඩිනමින් ඔප්පු ලබාදීමට කටයුතු යොදන බවත් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

    රජයේ කාර්යාල පවත්වාගෙන යන බොහෝ ඉඩම් වලටද විධිමත් ඔප්පු නොමැති බව පැවසූ අමාත්‍යවරයා එවැනි රාජ්‍ය ආයතන 12,000 ක් පමණ තම ඉඩම් නිරවුල් කර ගැනීමේ අවශ්‍යතායෙන් පසුවන බව පෙන්වා දෙන ලදී. එම රාජ්‍ය ආයතන අතරින් වැඩි ප්‍රමාණයක් පාසල්ය.

    මෙම සියළු ඉඩම් වලින් වැඩි ප්‍රමාණයකටම ඉදිරි වසර තුළ හිමිකම් ප්‍රදානය කළ හැකි බව පැවසූ අමාත්‍යවරයා එය රාජකාරියක් පමණක් නොව මහා පුණ්‍යකර්මයක් බවද පැවසීය. ඒ සදහා ජාතික මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ සියළුම නිලධාරීන් කැපවිය යුතු බවද අමත්‍යවරයා තව දුරටත් පෙන්වා දෙන ලදී.
    මහනුවර දිස්ත්‍රික් ලේකම් කර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති මෙම රැස්වීම සදහා නියෝජ්‍ය ඉඩම් අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල් ඉන්ද්‍රා හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ නිලධාරින් රැසක් සහභාගී වූහ.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya