Print this page

දකුණු පළාතේ ව්‍යවසායකයන් දැනුවත් කෙරේ

මැයි 15, 2018

නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබදව දකුණු පළාතේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා වූ එක් දින සම්මන්ත්‍රණයක්‍ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර සනායා මෙන්ෂන් හෝටලයේ දී පැවැත්විණි.

දකුණු පළාතේ හදුනාගත් අපනයන ශක්‍යතාවයක් ඇති ක්ෂේත්‍රලෙස අගය වැඩිකළ කෘෂිකාර්මික නිෂ්පාදන, කුළු බඩු නිෂ්පාදන, විසිතුරු භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ , සකස්කළ ආහාර, ආයුර්වේද නිෂ්පාදන, කොහු ආශ්‍රිත නිෂ්පාදන, ධිවර නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවා ආශ්‍රිතව සංවර්ධනය සඳහා ඇති අවස්ථා හදුන්වාදීම හා ඔවුන් ඒ සඳහා යොමු කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

එදින වැඩසටහන ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයත් සමඟ අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම විදහා දක්වන ප්‍ර‍දර්ශනයක් සහ දකුණු පලාතේ ප්‍ර‍ධාන ව්‍යාපාරිකයන් සහභාගීවන වට මේස සාකච්ඡාවක් යන අංගවලින් සමන්විත වූ අතර සම්මන්ත්‍රණයේ දී ගෝලීය සැපයුම් දාමයට එකතු වෙමින් අභියෝග ජයගත් දකුණු පළාතේ ප්‍රධාන අපනයන කරුවන් ඔවුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරමින් ව්‍යවසායකයන් අපනයන ක්ෂේත්‍රයට ආකර්ෂණය කරගැනීම සඳහා දිරිගැන්වී ය.

මෙම අවස්ථාවට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, තරුණ කටයුතු ව්‍යාපෘති කළමණාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක , ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය  අමාත්‍ය සුජීව සේනසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර ගරු මාර්ෂල් පෙරේරා, යන මහත්වරු මෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වැඩමුළුව සංවිධානය කරන ලදි.

DMU/Matara