Print this page

පුත්තලමේ ඉඩම් මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න

නොවැම්බර් 26, 2017

පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් ඉඩම් මිලදී ගැනීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන්නැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා දැනුම් දෙයි.

බොහෝ ඉඩම් සඳහා ව්‍යාජ ලෙස ඔප්පු හා ප‍්‍රකාශන ඔප්පු සකස් කර ඉඩම් අලෙවි කිරීමේ ජාවාරමක් කි‍්‍රයාත්මක වීම මෙයට හේතුවයි. විවිධ පුද්ගලයින්ගෙන් ඉඩම් මිලදී ගත් බොහෝ දෙනෙකු මේ වන විට විවිධ අපහසුතාවන්ට මුහුණපා ඇතැයිද අමාත්‍යවරයා පවසයි. වසර ගණනාවක සිට මෙම ඉඩම් ජාවාරම කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එබැවින් කිසියම් ඉඩමක් මිලදී ගන්නේනම් එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ රජයේ ආයතන වෙතින් විමසා බැලීමක් සිදු කරන්නැයිද ඔහු ජනතාවට දැනුම් දී සිටී.

 

විවිධ පුද්ගලයින් විසින් සිදු කරනු ලබන මෙම ජාවාරම පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ. මෙම ජාවාරම් සඳහා ඇතැම් පුද්ගලයින් මෙන්ම ඇතැම් ආයතනද සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත. ව්‍යාජ ප‍්‍රකාශන ඔප්පු සකස් කරමින් රජයට අයත් ඉඩම් වැඩි වශයෙන් අත්පත් කරගෙන තිබෙන බවයි මේ වන විට අනාවරණ වී තිබෙන්නේ. මෙම ඉඩම් මංකොල්ලය පිටුපස සිටින පුද්ගලයින් කවුරුන්ද යන්න නිශ්චිතව හෙළි කර ගැනීමට හැක බවද අමාත්‍යවරයා කියා සිටී.