මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික සමෘද්ධියත්, ජාතික සංහිඳියාවත් උදාකර ගැනීම ශ්‍රී ලංකා රජයේ ඉලක්කයි - ජනපති

    සැප්තැම්බර් 20, 2017

    රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිලි ජයග‍්‍රහණයක් ලබා ගැනීම රජයේ ඉලක්කය බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකයේ සියලු රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    ජාතික සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් සහ කෙටිකාලීන විසඳුම් බලාපොරොත්තු වුවද වසර 30 කට ආසන්න කාලයක් පැවති යුද්ධය හේතුවෙන් රට අභ්‍යන්තරයේ ජනතාව අතර ඇතිවූ බෙදීම් ඉවත් කර එම ජන කොටස් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැඟීම කෙටි කාලයක් තුළ ඉටු කළ නොහැක්කක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) අලුයම අමතමිනි.

     

    බලය අතහැරීම පිළිබඳ ආදර්ශය ජාතික මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය සඳහා ලබාදුන් නායකයෙක් ලෙස මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කැපවූ නායකයෙකු ලෙස මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශනය ඉතා සුවිශේෂී වූ අතර එය සියලු ජගත් නායකයින්ගේ අවධානයට ලක් විය.

    රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පසුගිය වසර දෙක හමාර තුළ තම රජය සාර්ථක ගමනක් පැමිණි බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරි කාලය තුළ ද එම ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව අවධාරණය කළේය.

    රටේ ජාතික සංහිඳියාව සහ ආගමික සංහිඳියාව ගොඩනගමින් විවිධ භාෂාවන් කතා කරන සියලු ජනතාව අතර සහෝදරත්වය සහ විශ්වාසය ඇතිකර සියලුදෙනාට නිදහසේ හා සතුටින් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    එමෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම තුළ සාධාරණ සමාජයක් ගොඩනැගීමේ මූලික කාර්යය සඳහා රජය බැඳී සිටින බව ද කියා සිටියේය.

     

    බලයේ සිටියදීම තම විධායක බලතල අත්හළ සහ එය පාර්ලිමේන්තුවට පවරාදුන් නායකයෙක් ලෙස බලය අතහැරීම පිළිබඳව ආදර්ශය තමා ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනය සඳහා ලබාදී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා තනි බලයක් භාවිතා කරමින් ආඥාදායක ගමනක් ගිය පාලනයක් වෙනස්කර රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමට තම රජය කටයුතු කළ බව ද ප‍්‍රකාශ කළේය.

    රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා මෙන්ම 2025 සඳහා පැහැදිලි ආර්ථික ප‍්‍රතිපත්තියක් සහ සැලැස්මක් රජය ප‍්‍රකාශයට පත්කර ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීමට මෙන්ම විදේශීය ණය බරින් රට නිදහස් කර ගැනීමට ද එය ඉවහල් වනු ඇති බව කියා සිටියේය.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද දේශනය
    (2017-09-20)

        ඔබ සියලුදෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා

        ගෞරවනීය සභාපතිතුමනි, සියලුම රාජ්‍ය නායකයනි,

        එක්සත් ජාතින්ගේ සංවිධානයේ ගෞරවනීය මහලේකම්තුමනි,

        සියලුම ආරාධිත අමුත්තනි,

        මා ඉතාමත් සතුටු වෙනවා 72 වන සමුළුවේ නව මහ ලේකම්වරයෙක් පත්වූ අවස්ථාවේ එතුමාට සුබ පතමින් මගේ කථාව ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව.

        විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස තුන්වන වරටත් මේ ගරු සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ 72 වන සමුළුවේ ප‍්‍රධාන තේමාව වන්නේ ‘තිරසර ලොවක් මත සෑම මිනිසෙකුටම වැදගත් ජීවිතය සහ සාමය සඳහා ප‍්‍රයත්නය’ යන්නයි. අද ලෝකය තුළ පවතින විවිධ තත්ත්වයන් සැලකිල්ලට ගත්විට මෙය ඉතාමත් කාලෝචිත වූ තේමාවක් වශයෙන් හැඳින්වීමට පුළුවන්.

        2015 වසරේ ජනවාරි මාසයේ ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වූ මා එසේ පත්වීමට පෙර මගේ රටේ ආදරණීය ජනතාවට මා දුන් පොරොන්දු කිහිපයක් තිබෙනවා. එහිදී විශේෂයෙන් මා සඳහන් කළේ ලෝකයේ කිසියම් රටක, කිසියම් නායකයෙකුට නොතිබූ අසීමිත බලයක් ශී‍්‍ර ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බැවින් මා බලයට පත්වූ විට ඒ අසීමිත බලය ජනාධිපති ධූරයෙන් ඉවත් කර පාර්ලිමේන්තුව සඳහා පවරනු ලබන බවයි.

        බලයට පත්වූ නායකයෙක් එවැනි අසීමිත බලතල රාශියක් සිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, තනතුර තුළ තිබියදී එම බලය, බලයේ සිටින අවස්ථාවේ තමා විසින්ම අත්හළ, පාර්ලිමේන්තුවට පැවරූ නායකයෙක් විදියට මගේ රටේ ජාතික දේශපාලනයටත්, ජාත්‍යන්තර දේශපාලනයටත් බලය අත්හැරීම පිළිබඳ ආදර්ශය මා විසින් දී තිබෙනවා.

        ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින, පෝෂණය කරන රටවල් ලෙස ප‍්‍රධාන වශයෙන්ම බලයට පත්වන නායකයෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමත් බලය නිසි ලෙස භාවිතා කිරීමත් සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා සිය බලය භාවිතා කිරීමත් ඉතා වැදගත් වෙනවා.
        නමුත් ගෙවී ගිය දශක කිහිපයත්, ලෝක ඉතිහාසයත් ගත්විට පෙනී යන්නේ බලයට පත්වන බොහෝ නායකයින්, බලයෙන් ඉවත්වීමට තිබෙන්නා වූ අකමැත්ත තුළ, එම රට තුළ සාමය බිඳීම, සාමය නැතිවීම මෙන්ම එය ජාත්‍යන්තර වශයෙන් ද විවිධ බෙදීම් අසමගිකම් සඳහා බලපාන බවයි.

        එවැනි ඓතිහාසික සිද්ධාන්ත, තොරතුරු පිළිබඳ ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් අපට අවබෝධයන් රාශියක් තිබෙනවා. මේ සියලු තත්ත්වයන් තුළ මගේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින්, ආඥාදායක ගමනක් ගිය, තනි බලයක් පාවිච්චි කරමින් අසීමිත බලයක් ගෙන ගිය දේශපාලන කණ්ඩායම් ඉවත් කර, රට තුළ ජනතාවගේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරමින් මානව හිමිකම් ආරක්ෂා කරමින්, මූලික අයිතිවාසිකම් පෝෂණය කරමින් ගෙවී ගිය වසර දෙක හමාරක කාල සීමාව තුළ මා සාර්ථක ගමනක් පැමිණි බව විශේෂයෙන් මේ ගෞරවනීිය උත්තරීතර සභාවට ප‍්‍රකාශ කරන්න ඕන.

        2017 මේ වර්ෂය අපේ රටේ සංවර්ධනය තුළ නම් කරනු ලැබුවේ දුගී භාවයෙන් නිදහස්වීමේ වර්ෂය වශයෙන්. දුගී භාවයෙන් නිදහස්වීම සඳහා අපේ රට මෙන්ම අද මුළු මහත් ලෝකය විශාල ප‍්‍රයත්නයක යෙදී සිටිනවා. දුගී භාවයෙන් නිදහස් වීමේ වර්ෂය වශයෙන් 2017 වර්ෂය නම් කරමින් මගේ රට තුළ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ආරම්භ කරනු ලැබුවා.

        ඔබ සියලුදෙනා දන්නා පරිදි ශී‍්‍ර ලංකාවේ අවුරුදු 30 කට ආසන්නව තිබූ අභ්‍යන්තර යුද්ධය රටේ ආර්ථිකය බිඳහෙළනු ලැබුවා. රටේ ආර්ථිකය දුර්වල කරනු ලැබුවා. රට බෙදීමට සටන් කළ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කරලා රටේ සාමය ඇතිකරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරලා නිදහස් සාමකාමී රටක් විදියට රට ඉදිරියට ගෙන යාමට අපට පුළුවන්කම ලැබුණා. ඒ යුද්ධයෙන් ලැබූ ආර්ථික අවාසිය, ආර්ථික පසුබැසීම් සමග රට තුළ ඇතිවූ පසුබෑම් ඒ සියල්ලෙන් ලබාගත් පාඩම් සමග තිරසර සංවර්ධන ඉලක්ක කරා යමින් අපේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දේශීය කෘෂිකර්මාන්තය, දේශීය කාර්මිකකරණය තුළ නව පිටුවක් අප විසින් පෙරළනු ලැබුවා. ප‍්‍රධාන වශයෙන් තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීමේදී පරිසර සංරක්ෂණයට මුල් තැන දීම මගේ රජයේ ප‍්‍රමුඛ කාර්යයක් බවට පත්වුණා.

        විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්න ඕන අද මගේ රට වගේම මුළු ලෝකය වශයෙන් ගත්විට අද ඇමෙරිකා එක්සත් ජනපදය පවා කාලගුණික, දේශගුණික විපර්යාස සමග ඉතාමත් බරපතළ තත්ත්වයන්ට මුහුණදී තිබෙනවා. ඒ තුළ පැරිස් සමුළුවේ ඇතිකරගන්නා වූ එකඟතාවයන්, ගිවිසුම් ඒ ප‍්‍රකාශනයට අත්සන් කිරීමෙන් අප ජාත්‍යන්තර වශයෙන් ලබාගත් එකමුතුව, සම්මුතිය කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම විශේෂයෙන්ම අද මුළු ලෝකය හමුවේ අප මුහුණ දෙන ඉතා වැදගත් ඉලක්කයක් බව මෙහිදී සඳහන් කරන්නට ඕන. ඒ නිසා කාලගුණික, දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් පැරිස් සමුළුවේ ඇතිකරගත් එකඟතාවය, එම ප‍්‍රකාශයට අත්සන් කිරීමෙන් ඇතිකරගත් සම්මුතිය කි‍්‍රයාත්මක කිරීම මුළු මහත් මානව සමාජයේ මෙන්ම මුළුමහත් ජීව ලෝකයේ පැවැත්ම සඳහා ඉතා වැදගත්වන්නා වූ කාර්යයක් බව අප විසින් සිහියේ තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. දුගී භාවයෙන් නිදහස් වීමේ ජාතික වැඩසටහන තුළ ග‍්‍රාම ශක්ති නමින් නව වැඩපිළිවෙළක් මගේ රජය යටතේ ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම 2025 වසර සඳහා පැහැදිලි ආර්ථික ප‍්‍රතිපත්තියක් සහ සැලැස්මක් අප විසින් මේ වන විට ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

        දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින්, දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් දුගී භාවයෙන් නිදහස්වීමේ ඒ පුළුල් ජාතික වැඩසටහනට නව ප‍්‍රවණතාවයක්, නව ගමන් මගක් පිළිබඳ වැඩපිළිවෙළ හඳුන්වාදෙමින් 2025 දක්වා අප කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තුවන ආර්ථික සැලැස්ම අපේ රටේ නව පිබිදීමක්, සමෘද්ධියක් ඇති කිරීමට ඉමහත් සේ ඉවහල්වනු ඇතැයි මා විශ්වාස කරනවා.

        ඒ වගේම ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මා මෙහිදී සඳහන් කරන්න ඕන මගේ රටේ මෙන්ම මුළු මහත් ලෝකයේ සියලු රටවල්වල අද දරුවන් ප‍්‍රශ්න රාශියකට මුහුණ දී තිබෙනවා. මගේ රට තුළ දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව ‘දරුවන් සුරකිමු’ යන තේමාව යටතේ පුළුල් ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍යවලින් දරුවන් බේරා ගැනීම, අපචාරවලින් දරුවන් බේරා ගැනීම, ඒ වගේම දරුවන් අපචාරවලට ලක්වීමෙන් වළක්වා ගැනීම මෙවැනි කරුණු මත මුළු මහත් මානව සමාජයේ දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් ව්‍යාපෘති, වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ ඉලක්ක සහගත අවශ්‍යතාවය, එම ව්‍යාපෘතීන් තුළින් අපි පැහැදිලිවම දකිනවා.

        කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ අද මුළුමහත් ලෝකයේම එදා වගේම වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. කාන්තාවන්ට සම තත්ත්වයක් ලබාදීමේ දී තවමත් විවිධාකරයෙන් කාන්තාවන්ට නොසලකන තත්ත්වයක් ලෝකයේ ඇතැම් රටවල, සමාජවල පෙන්නුම් කරනු ලබනවා. මගේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකකට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන්. කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අලුත් සංශෝධන මගින් සහතික කර තිබෙනවා වගේම මැතිවරණවලට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගෙන් අනිවාර්යයෙන්ම අපේක්ෂක ලැයිස්තු තුළ සියයට විසි පහක් කාන්තාවන් ඇතුළත් විය යුතුය යන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අලුත් සංශෝධනවලට ඇතුළත් කර තිබෙනවා.

        දරුවන් ආරක්ෂා කිරීම, කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම ඒ වගේම මුළු මහත් සමාජයට බරපතළ ප‍්‍රශ්නයක් වන මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳව අපි ජාතික වශයෙන් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. මුළු මහත් මානව සමාජයේ යහපැවැත්ම සඳහා මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ පුළුල් ජාත්‍යන්තර වැඩපිළිවෙළක අවශ්‍යතාවය ඔබ අප සෑම කෙනෙක්ම පැහැදිලිව දන්නා වූ කාරණයක්. ඒ අනුව ලෝකයේ සෑම රටකම, සෑම සමාජයකම පාසල් දරුවාගේ සිට මත්ද්‍රව්‍ය මර්දනය, මත්ද්‍රව්‍ය වැළැක්වීම, මත්ද්‍රව්‍ය නිවාරණය කියන කරුණු පදනම් කරගෙන සමාජයට බරපතළ අභියෝගයක් වී තිබෙන මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා මුළු මහත් මානව සමාජයේ පොදු එකඟතාවයක්, පොදු වැඩපිළිවෙළක්, පොදු සම්මුතියක් තුළ ඒ සඳහා එක ගමනක් යාම ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණයක් විදියටයි මා දකින්නේ.

        ඒ වගේම මෙහිදී මා සඳහන් කරන්න ඕන අවුරුදු 30 කට ආසන්න කාලයක් දීර්ඝ යුද්ධයකට මුහුණ දුන් මගේ රටේ 2015 මගේ රජය බලයට පත්වන විට ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් තිබුණා. ඉන් එක් ප‍්‍රශ්නයක් තමයි විශාල වශයෙන් විදේශීය ණය අවුල. විදේශයන්ට තිබෙන ඉතාම අසීමිත වූ ණය ගෙවීමක්, මුදල්වල හිඟයක් බරපතළ ලෙස පෙන්නුම් කරනු ලැබුවා. ඒ වගේම තමයි යුද්ධය පැවති කාලය තුළ සිදුවුනායැයි කියනු ලබන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා තුළ ප‍්‍රධාන වශයෙන් ඒ සඳහා මුහුණදීම පිළිබඳව එහෙත් ප‍්‍රධාන වශයෙන්ම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළ තුළ විදේශ ණය ගෙවීම සඳහා මෙන්ම විදේශ ආයෝජන අවස්ථා මගේ රටේ ඇති කර ආර්ථික සමෘද්ධියක් ඇති කිරීම සඳහාත් අද ගෙනයන වැඩ පිළිවෙළ තුළ විදේශ ණයවලින් නිදහස් වීම පිළිබඳ ඉලක්ක සහගත වැඩපිළිවෙළක් අප මේ වන විට ක‍්‍රියාත්මක කර තිබෙනවා.

        ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මා පෙර කී පරිදි යුද කාලය තුළ පැවති තත්ත්වයන් ඇසුරෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවන් පිළිබඳව අපි රජයක් විදියට සැලකිල්ලට අරන් ඒ කරුණුවලට ප‍්‍රමුඛතාවක් දීලා ඒ කරුණු විසඳීමට මගේ රජය කටයුතු කරනවා. ප‍්‍රධාන වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීම ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම කියන කරුණු පදනම් කරගෙන මගේ රජය ගෙවීගිය වසර දෙකහමාරක කාලය තුළ රට තුළ සාර්ථක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇතිකිරීමේ කාර්යය ඉටුකර තිබෙනවා සේම ඉදිරි කාලය තුළ ඉතාමත් පැහැදිලිව එම කරුණු තහවුරු කිරීමට රජයක් විදියට ක‍්‍රියාකරන බව විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්නට ඕන.

        ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් මගේ රටේ ජීවත් වන සියලුම ජාතීන් තුළ සහෝදරත්වය ගොඩනගමින් සැකය, අවිශ්වාසය, වෛරය, ක්‍රෝධය ඉවත් කරමින් සෑම කෙනෙකුටම නිදහසේ ජීවිත් විය හැකි සමාජයක් ගොඩනැගීමට මගේ රජය කටයුතු කරනවා. ඒ වගේම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අප ගෙන ඇති පුළුල් වැඩපිළිවෙළ තුළ රටේ ආර්ථික සමෘද්ධිය ඇතිකරනවා මෙන්ම ආධ්‍යාත්මික විනයගරුක සමාජයක් ගොඩනගන්න මගේ රජය කැපවී සිිටිනවා. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම තුළ ප‍්‍රධාන වශයෙන්ම සාධාරණ සමාජයක් ගොඩනැගීමේ කාර්යයට මගේ රජය කැපවී සිිටිනවා.

        ගරු සභාපතිතුමනි මා මෙහිදී සඳහන් කරන්නට ඕන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින්, මානව හිමිකම් ශක්තිමත් කරමින්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින්, ජාත්‍යන්තර හොඳ හිත දිනාගනිමින් ඉතාමත් යහපත් රාජ්‍ය පාලනයක් ගෙනයන අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාරුණික සහයෝගය මා ඉතාමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වශයෙන් අපි වසර 62ක කාලයක් කටයුතු කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රඥප්තීන්ට එකඟව, එකඟතාවයන්ට එකඟව, නීති රීතිවලට එකඟව කටයුතු කරන රටක් විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගන්නා තීන්දු තීරණවලදී ශ‍්‍රී ලංකා රජය සාමාජික රටක් වශයෙන් ඒ බැඳීම් තහවුරු කරමින් කටයුතු කරන බව සඳහන් කරන්න ඕන. ඒ අනුව අපේ රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය සුරකිමින් ක‍්‍රියාකරන්නා වූ ගමනේ දී අපට එල්ල වී ඇති විවිධ චෝදනා, යෝජනා, අප විසින් ක‍්‍රියා කළ යුතු ආකාරයන් පිළිබඳව අපට නිදහස් සාමකාමී රටක් වශයෙන් සෙමින් ගමනක් ගොස් පැහැදිලි ඉලක්කයක් කරා යන්නට සියලු දෙනාගේම ගෞරවනීය සහය ඉල්ලා සිටිනවා.

        ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් බලාපොරොත්තු වෙනවා. ඇතැම් අන්තවාදී පිරිස් කඩිනම් විසඳුම් බලාපොරොත්තු වෙනවා, නමුත් වසර 30කට ආසන්න කාලයක් යුද්ධයක් පැවති රටක් විදියට, බෙදීම් තිබුණ රටක් විදියට රට තුළ ජනතාවගේ සමගිය ඇති කරලා ඒ සමගිය තුළ සහෝදරත්වය ගොඩනගලා මගේ ආදරණීය රටත් ජනතාවත් ගොඩනගන්නට, ශක්තිමත් කරන්නට ඔබ සියලු දෙනාගේම සහය ඉල්ලා සිටිනවා. ඒ නිසයි මා මෙහිදී ඉතා පැහැදිලිව කියන්නේ සෙමින් යන සාර්ථක ගමනක් සඳහා අපිට අවශ්‍ය සහයෝගය දෙන්න කියලා.

        වේගවත් ගමනක් අනතුරු සහිතයි කියලා අපි සැවොම අහලා තියෙනවා. ඒ නිසා ඇතැම් අන්තවාදී පිරිස් බලාපොරොත්තු වන වේගවත්, කඩිනම් විසඳුම් දීමේ අසීරුතාවන් මුළු මහත් සමාජය තුළ තිබෙන්නා වූ සංකීර්ණ ස්වභාවයන් ඔබ සෑම කෙනෙක්ම පිළිගනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මගේ රට තුළ නැවත යුද්ධයක් ඇති නොවන්නට, සියලු ජාතීන් තුළ සමගියක් ඇති කරන්නට මගේ රජය ගෙනයන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු රාජ්‍ය වල සහයත් මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආර්ථික සමෘද්ධියක් ඇති කරමින් යහපත් සමාජයක් ගොඩනගමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් මගේ රට තුළ නැවත යුද්ධයක් ඇති නොවන ලෙස කටයුතු කරමින් ලෝකයේ සමෘද්ධිමත් ආර්ථිකයක් සමග ආදර්ශවත් රටක් ලෙස ඉදිරියට යන්නට අවසර ඉල්ලමින් ගරු සභාපතිතුමා ප‍්‍රමුඛ සියලු දෙනාටම සුබ පතමින් මාගේ කථාව අවසන් කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya