ජනවාරි 18, 2019

tami eng youtube google twitter facebook

    බුදුන් දේශනා කළ පණිවුඩය නවීන ලෝකයට සිහිපත් කිරීමේ කාලය පැමිණ ඇත - අගමැති

    ජූනි 06, 2017

    දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වන විට අත්සන් කර ඇති බවත්, නීති විරෝධී සහ නියාමනය නොකෙරෙන ධීවර කටයුතු නිමා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාත්‍යන්තර සැලසුම්වලට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අගමැතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකා ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ගන්නා සියලුම පියවරවලට ශ්‍රී ලංකාව සහයෝගය දක්වන බවයි.

    එක්සත් ජාතීන්ගේ සාගර සහ සාගර සම්පත් තිරසර ලෙස භාවිතය හා සංරක්‍ෂණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ඊයේ (05 ) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10 ට පමණ අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසූයේ බුදුන් වහන්සේ පරිසරය හා ස්වභාව සම්පත් රැක ගන්නා හැටියට දේශනා කළ පණිවිඩය නවීන ලෝකයට නැවත වරක් සිහිපත් කිරීමට කාලය පැමිණ ඇති බව ය. මෙවැනි ජාත්‍යන්තර සමුළුවල දී ඓතිහාසික හා සාමයික උරුමයන්ගෙන් ලැබෙන දැනුම හා අවබෝධය ද සැලකිල්ලට ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    සමුළුව අමතමින් වික්‍රමිසිංහ මහතා පැවැත්වූ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    “මෙම සමුළුව සංවිධානය කිරීමට මුල් වූ සියලූ දෙනාට මගේ කෘතවේදීත්වය පළ කරන්න මා කැමතියි. විශේෂයෙන්ම මහා මණ්ඩලයේ සභාපති පීටර් තොම්සන් මහතා ෆීජි සහ ස්වීඩන දෙරටේ රජයනුත්, එමෙන්ම පෘතුගාලය සහ සිංගප්පූරුව දෙරටෙහි නිත්‍ය නියෝජිතයිනුත් යන අයගේ දායකත්වය විශේෂයෙන්ම අගය කරනවා.


    මෙම සමුළුව ඓතිහාසික ක්‍රියාදාමයක තවත් පියවරක්. අප උත්සාහ කරන්නේ මානව වර්ගයාගෙන් මිහිතලයට ඇති කෙරෙන බලපෑම් තේරුම් ගන්නට හා සමනය කරන්නටයි. මේ ක්‍රියාදාමය ඇරඹුනේ 1972 දී ස්ටොක්හෝම් නුවර පැවැති මානව පරිසරය පිළිබද මුල්ම එක්සත් ජාතීන්ගේ සමුළුවේදී. එතැන් පටන් පරිසරය සුරැකීම පිළිබඳව සියලූ ජාතීන්ට පැවරෙන වගකීම ගැන අප බොහෝ දේ කතා කර තිබෙනවා.

    පරිසර කළමනාකරය සහ මානව සුබ සිද්ධිය ඉතා සමීපව එකිනෙකාට බැඳී තිබෙන බව අප දැන් හොදාකාරව දන්නවා. ගෙවී ගිය වසර 40 කට වැඩි කාලය තුළ පරිසර කළමනාකරණය සඳහා ගෝලීය වශයෙන් ආයතනික ව්‍යූහයක් පිහිටුවා තිබෙනවා. එසේම පරිසරය ගැන මහජන දැනුම හා අවබෝධය ඉතිහාසයේ පෙර කිසිදාක නොතිබූ තරමට අද පුළුල් වී තිබෙනවා. මේ සියල්ල මෙසේ වුවත් ප්‍රශස්ත මට්ටමේ පාරිසරික තිරසාර බවක් ළඟා කර ගන්නට අපට තවමත් හැකි වී නැහැ.

    මේ සමුළුවේ වැදගත්කම තවත් වැඩි වන්නේ මේ හේතුව නිසයි. අපේ මිහිතලයේ මතුපිටින් 70% ක් ම වසා ගෙන සිටින්නේ සාගර විසින්. ලෝකයේ තිබෙන ජල සම්පතින් 97% ක් ම මේ සාගර තුළ ගැබ්ව තිබෙනවා. මේ සාගර මුහුදු සාගර සම්පත් සංරක්‍ෂණය කරන්නට අප මීට වඩා උත්සාහ ගත යුත්තේ ඒ නිසයි. එසේ නොකළහොත් ගොඩබිම අප ගන්නා අනෙකුත් සංරක්‍ෂණ පියවර අසාර්ථක විය හැකියි. මෙම සමුළුවට ඉදිරිපත් කෙරෙන පසුබිම් පත්‍රිකා සහ නියෝජිතයන් අතර සිදුවන සාකච්ඡා මඟින් තවදුරටත් තහවුරු කරන්නේ සාගර සම්පත් සංරක්‍ෂණයේ හදිසි අවශ්‍යතාවය හා වැදගත්කමයි.

    මෙම සාකච්ඡාවන්හි දී වැඩි අවධානයට යොමු විය යුතු යැයි මගේ රජය විශ්වාස කරන එක පැතිකඩක් තිබෙනවා. එනම් මූල්‍ය සම්පත් සම්පාදනය කිරීමයි. සංරක්‍ෂණය වෙනුවෙන් අප එකඟ වන පියවර සාර්ථකව ක්‍රියාත්මක කළ හැක්කේ ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය සම්පත් දිගටම ලැබේ නම් පමණයි.

    තිරසාර සාගර ආර්ථිකයක් අප සියලූ දෙනා එකමුතුව බිහි කළ යුතුව තිබෙනවා. එයට මසුන් වගා කිරීම, සාගරයෙන් පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම, සාගර තාක්‍ෂණයන් දියුණු කිරීම මෙන්ම සාගර දූෂණය පිරිසිදු කිරීම ආදී අංග ඇතුළත් වෙනවා.

    මේ සඳහා රජයන්ගෙන් සහ දානපතීන්ගෙන් ලැබෙන මූල්‍ය දායකත්වය ප්‍රමාණවත් නොවිය හැකියි. එම නිසා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ වෙනත් නව ආකාරයේ මූල්‍ය සම්පාදන ක්‍රම සොයා ගත යුතු වෙනවා. එසේම මෙම දැවැන්ත කාර්යභාරය සඳහා නව පාර්ශ්වකරුවන් සහ නව සහයෝගීතාවයන් සොයාගත යුතුව තිබෙනවා.

    මෙම සමුළුව සහ තවත් මෙවැනි රැස්වීම්වලින් මතුවන නිර්දේශ දැනට පවතින එක්සත් ජාතීන්ගේ සාගර නීතියට අදාළ කළ යුතුයි. එම නීතිය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ආයතනික ව්‍යූහයක් පිහිටුවා තිබෙනවා. නමුත් එය විමර්ශනය කොට යම් සංශෝධන කිරීම අවශ්‍යයි. ඉන්දියන් සාගරයේ නාවුක ගමනාගමනය සඳහා ඇති නිදහස තහවුරු කිරීමට සියලූ පියවර ගත යුතුව ඇතැයි මාගේ රජය කිහිප වතාවක් අවධාරණය කොට තිබෙනවා. ආරක්‍ෂිත සාගර ගමනාගමනය තහවුරු වූ විට සාගර ආර්ථිකය වඩ වඩාත් දියුණු වන්නට එයින් රුකුලක් ලැබෙනවා. එසේ සාගර ආර්ථිකය දියුණු වෙද්දී සාගර පරිසරය ද රැකගන්නට ද අප වගබලා ගත යුතුයි. දකුණු ආසියාවේ, අග්නිදිග ආසියාවේ හා නැගෙනහිර පැසිපික් සාගරයේ ආර්ථික සංවර්ධනය, සාමය පවත්වාගෙන යාම, පරිසර සංරක්‍ෂණය යන අරමුණු තුනම අප සාක්‍ෂාත් කර ගත යුතුයි.
    ගරු සභාපතිතුමනි,
    ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් ගෝලීය දේශගුණික විපර්යාස හා සාගර පරිසර පද්ධතියේ ඇති වන වෙනස්කම්වලට කෙලින්ම මුහුණ දෙනවා. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව ස්වභාවික ව්‍යසන ගණනාවකට මුහුණ දුන්නා. 2004 මහා සුනාමිය, ගංවතුර, නායයාම් සහ වෙනත් ආපදා මේ අතර වනවා. මා මේ කතා කරන මොහොතේත් මෑත දිනවල ඇද හැලූණු අධික වර්ෂාව නිසා ගංවතුර හට ගෙන සිය ගණනක් ජනයා මිය ගොස් ලක්‍ෂ කිහිපයක් ජනයා පීඩාවට පත්වී සිටිනවා. ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන ආපදා සහන පිළිබඳව අප බෙහෙවින් ස්තූති කරනවා. නමුත් මේ සියල්ලෙන් පෙනී යන්නේ එබඳු ආපදාවලට තනිවම මුහුණදීමට අපට ඇති නොහැකියාවයි.

    මගේ රට වැනි රාජ්‍යයන්ට සාගරයෙන් ජීවිතය මෙන්ම මරණයත් ලැබිය හැකියි. ඉන්දියන් සාගරය අපට ආහාර, ජීවනෝපාය, වෙළෙඳ අවස්ථා සහ වෙනත් පහසුකම් සපයා දෙනවා. අපේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වෙරළාසන්නව ජීවත් වනවා. එහෙත් ගෝලීය මුහුදු මට්ටම් ඉහළ යාම, සාගර දූෂණය, මත්ස්‍ය සම්පත් ක්‍ෂණ වීම ආදී ප්‍රශ්න අපට සෘජුව බලපෑම් ඇති කරනවා.

     

    PM un. 1

    pm un 2

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu