අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආයතනවලට ඉදිරි සති දෙක තුළ නව වැඩපිළිවෙළක් - තනතුරුවල ද වෙනසක්

    අප්‍රේල් 21, 2017

    ප‍්‍රදේශීය සංවර්ධන කමිටු රැස්වීම් සහ දිස්තී‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා සියලු දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට නිශ්චිත දින ඇතුළත් චක‍්‍ර ලේඛයක්,  මීතොටමුල්ල සිදුවීම පිළිබඳ ස්වාධීන පරික්ෂණයක් සිදු කිරීමට ඉදිරි සතියේදී විශ‍්‍රාමික විනිසුරුවරයෙකුගෙන් යුත් කමිටුවක් සහ සියලු අමාත්‍යාංශවල විගණන කටයුතු සිදු කිරීම සොයා බැලීමට ජනපතිගේ සෘජු මැදිහත්වීම ලබන මැයි මාසයේ සිට සිදු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

     

    රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාවය සහ අඩු පාඩු මග හරවමින් එම කටයුතු වඩා විධිමත් කර, නව මුහුණුවරකින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    එහිදී ආයතනික ව්‍යුහයන් මෙන්ම තනතුරු ද වෙනස්වීම්වලට ලක්විය හැකි බව ජනාධිපතිතුමා සදහන් කළ ඊයේ (20) කොටුව ජනාධිපති මන්දිරයේදී රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප‍්‍රධානින්, කතුවරුන් හා අධ්‍යක්ෂවරුන් සමග පැවති හමුවේදී ය.

    ඇතැම් විවේචකයින් සහ රජයට විරුද්ධ දේශපාලනඥයින් පවසන ආකාරයේ බරපතළ ආර්ථික අර්බුදයක් හෝ ගැටලුවක් අද රට හමුවේ නොමැති බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා අද ආණ්ඩුවක් ලෙස වත්මන් රජය ඉතා ශක්තිමත් ගමනක් යමින් රටේ ආර්ථිකය ගොඩනැංවීමට කැපවී සිටින බව කියා සිටියේය.

    මාධ්‍ය ආයතනවලින් තමා ඉල්ලා සිටින්නේ රට තුළ ඇතිවන ඇතැම් ගැටලුකාරී අවස්ථාවලදී රජය ආරක්ෂා කිරීමට නොව රටේ ජනතාව වෙනුවෙන් සිතා සිය මාධ්‍ය මෙහෙවර ඉටු කරන ලෙස බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    වත්මන් රජය පසුගිය වසර දෙක හමාර තුළ රටේ ආර්ථිකය පිළිබඳ ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් අද දවස වන විට මෙරට විදේශ වත්කම් ඩොලර් බිලියන 05 කට වැඩි ඉහළ අගයක පවතින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ එම තත්ත්වය තවත් වර්ධනය වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා මහා ආර්ථික අර්බුදයක් මවා ගනිමින්, සියල්ල අසුබවාදීව දකිමින් ආර්ථිකය කඩා වැටෙනවායැයි බලා සිටීමට කිසිවෙකුට අද සාධක නොමැති බව ද පැවසීය.

    2016 වසරේ මෙරට කෘෂිකර්මාන්තයේ කඩාවැටීමක් පිළිබඳ අද දින එක්තරා ජාතික පුවත්පතක පිටුවක් පුරා පළවී තිබූ වාර්තාව පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද දවසේ මෙරට තේවලට සහ රබර්වලට හොද මිලක් ලැබෙන අතර තේ, රබර් ඇතුළු අනෙකුත් කෘෂි භෝග ද ඇතුළත් වන්නේ කෘෂිකර්මාන්තයට නමුත් රටට සුබවාදී මෙම තත්ත්වයන් පිළිබඳ කිසිවෙකු ආර්ථික විග‍්‍රහයන් නොකිරීම කණගාටුවට කරුණක් බවත් ය.

    කිසිදු රජයක් අත නොගැසූ ඖෂධ මිල පහත දැමීම ඇතුළු රටේ අහිංසක ජනතාව වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රැසක් ගත් බවත්, හෘද ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ නොමිලේ ලබාදීම, අක්ෂි කාච ජාවාරම නවතා දමා අක්ෂි කාච නොමිලේ ලබාදීම වැනි කි‍්‍රයාවන් පිළිබඳව ද කිසිවෙකු කථා නොකරන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    වත්මන් රජය බලයට පත්වන විට ලංකා ගමනා ගමන මණ්ඩලය සේවක අර්ථසාධක වෙනුවෙන් රුපියල් බිලියන 12 ක මුදලක් ගෙවීමට තිබූ අතර ඒ පිළිබඳ පැවරී ඇති සියලු නඩු අවසන් කරමින් මේ වන විට රුපියල් බිලියන 06 ක මුදලක් ගෙවා තිබෙන බවත්, සෑම ආණ්ඩුවක්ම ගැටලුකාරී තත්ත්වයක් බවට පත් කරගත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් පිළිබඳ ගැටලු සියල්ල ද නිරාකරණය කර ගනිමින් අද එම ඉඩම් පිළිබද අයිතිය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති එක් ආයතනයකට පවරා තිබෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති තීරුබදු නිදහස් වෙළෙදසැල් තමන්ගේ හිතවතුන්ට පමණක් බෙදා දුන් යුගය අවසන් කර ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඒ සඳහා විවෘත ටෙන්ඩර් කැඳවිමක් සිදු කිරීම හේතුවෙන් සියයට 24 ක් ව තිබූ එහි ආදායම අද සියයට 40 දක්වා වර්ධනය කර ගැනීමට හැකිව තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    මේ රටේ ඉතිහාසයේ දැවැන්තම රටට අවාසි සහගත ගිවිසුම සිදුවූයේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය තුළින් බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා කිසිදු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ අන්දමින් රටෙන් කොටසක් සින්නක්කරව පවරාදීම පිළිබඳ ගිවිසුමකට එහිදී අත්සන් කර තිබූ බවත්, චීනය සමග හොඳ හිත ද පවත්වාගෙන යමින් අවශ්‍ය වෙනස්කම්වලට එළැඹෙමින් බදු පදනම මත එම කටයුතු පවත්වාගෙන යාමට වත්මන් රජයට හැකිවූ බවත් කියා සිටියේය.

    උතුරේ නැවත පදිංචි කිරීමේ කටයුතු සහ අතුරුදහන්වූවන් පිළිබඳ තිබෙන තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මේ වනවිට නැවත පදිංචිකිරීම් 60% ක් අවසන්ව පවතින බවත් ඉදිරි මාස 03 තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්ය. අතුරුදහන් වූවන් පිළිබඳ ඉල්ලීම් කරන අයට නිවැරදි තොරතුරු ලබාදීම සඳහා මීට පෙර තිබූ කොමිෂන් වාර්තාවල නිර්දේශයන් ද සැළකිල්ලට ගනිමින් විශේෂ වැඩසටහනක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    විගණනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉටුවිය යුතු වගකීම් පසුගිය වසර කිහිපය තුළ නිසි ලෙස ඉටු වී නොමැති අතර එම කටයුතු විධිමත් කරමින් සියලු අමාත්‍යාංශවල විගණන වාර්තා විමර්ශනය වෙනුවෙන් අදාළ ඇමතිවරුන් සහ නිලධාරින් සමග ලබන මැයි මාසයේ සිට තම සෘජු මැදිහත්වීම ඇතිව නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස අදාළ සියලු නිලධාරින්ට තමා උපදෙස් ලබාදී ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ප‍්‍රමුඛ කාර්යයක් සේම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ද රට තුළ පැවතිය යුතුය යන්න රජයේ ප‍්‍රතිපත්තිය බව මෙහිදි සඳහන් කළ ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට කිසිදු හානියක් නොවන අයුරින් සයිටම් ආයතනය පිළිබඳ රජය තීන්දු තීරණ ගෙන තිබෙන බව ද සඳහන් කළේය.

    මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව මතුව ඇති ත්ත්ත්වයේ වගකීම, ඒ පිළිබඳ නීතිමය බලය සහ අයිතිය ඇති සියලු ආයතනවලට පැවරෙන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා ආයතනික බලය පිළිබඳ පවතින කඹ ඇදීම මෙම ඛේදවාචකයට හේතු වූ බවත් දැනට පවතින වැඩපිළිවෙළට අමතරව මෙම තත්ත්වය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා මාසයක් තුළ වාර්තා කිරීම වෙනුවෙන් විශ‍්‍රාමික විනිසුරුවරයෙක්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ලබන සතියේ කටයුතු කරන බව ද සඳහන් කළේය.

    කවුරුන් කුමන ව්වේචන සිදු කළ ද අද රටේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂමව හා සාර්ථකව ඉදිරියට ගමන් කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා සංවර්ධන කටයුතුවල ප‍්‍රගතිය සමාලෝචනය කෙරෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වල සහ ප‍්‍රදේශීය සංවර්ධන කමිටු රැස්වීම් සඳහා මැති ඇමතිවරු දින ලබා නොදීම හේතුවෙන් සිදුවූ ප‍්‍රමාදයන් වළක්වමින් ඒ සඳහා වාර්ෂික දින ඇතුළත් චක‍්‍ර ලේඛයක් අදාළ සියලු මැති ඇමතිවරුන් සහ නිළධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද මෙහිදී පැවසීය.

    මාධ්‍ය ප‍්‍රධානීන් හා පුවත්පත් කතුවරුන්ගේ හමුව අමතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව


    (2017-04-20 වන දින කොටුව ජනාධිපති මන්දිරයේදී)

    සියලුදෙනාටම සුබ නව වසරක් වේවා. මැති ඇමතිවරුන් රාජ්‍ය හා රාජ්‍ය නොවන මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් නව වසරේ හමුවූ පළමු අවස්ථාව මෙයයි. ගෙවීගිය වසරවල අත්දැකීම් සමග රටේත් මහජනතාවගේත් රජයේත් යහපත් අරමුණු ඉටු කර ගැනීම සඳහා සියලුම මාධ්‍ය ආයතනවල සහයෝගයත් පසුගිය කාලයට වඩා රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේදී අපිට ලබා දෙන්න කියා ඉතා ගෞරවයෙන් මා සියලු මාධ්‍ය ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    අද මෙම හමුවීම යොදා ගත්තේ කරුණු කිහිපයක් මුල් කරගෙනයි. රජයක් විදියට කටයුතු කිරීමේදී විවේචන, චෝදනා, නින්දා, අපහාස මේ සියල්ල අපි තක්සේරු කරන්නේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක තිබෙන උපරීම නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විඳිමේ අවස්ථා ලෙසයි. මේ රටේ ජනතාව මාව බලයට පත්කර ගත්තේ ජනාධිපති ධූරයේ බලතළ අවම කිරීම ද තවත් පැත්තකින් තනතුර අහෝසි කිරීමට ද යන මේ කරුණු දෙකම මුල් කර ගෙනයි. ඒ දෙකෙන් ඕන එකකට මම එදත් සූදානම් අදත් සූදානම් කිසිදු ප‍්‍රශ්නයක් නැහැ.

    අපේ රටේ එක්තරා කාලයක අත්දැකීම වුයේ මැතිවරණ නොපවත්වා පවතින ආණ්ඩුවේ කාලය දීර්ඝ කර ගැනීමයි. එම ක‍්‍රමය වෙනස් කිරීමට බලයට පැමිණි අප කුමන අභියෝගයක්, ප‍්‍රශ්නයක් ආවත් දීර්ඝ කාලයක් අත්දැකීම් තිබෙන පිරිසක් විදියට සියලු ක්ෂේත‍්‍රවල දේශපාලන අංශ වගේම උගත් බුද්ධිමත් පිරිසක් සමග මේ රට යහපත් සුබවාදී රටක් කිරීමයි අපේ පවිත‍්‍ර වූ නිර්මල වූ ශ්‍රේෂ්ඨ උතුම් අරමුණ. ඒ අරමුණ කරා අපි යනවා.

    අපේ රටේ ආර්ථිකය පිළිබඳව කරන විවේචන, විග‍්‍රහයන් තිබෙනවා. රජයක් විදියට අපිත් ආර්ථික වශයෙන් සිටින්නේ අසීරු තත්වයක කියා අපි කිව්වේ විදේශ වත්කම් පහත බැසීම සහ විදේශ ණය නිසා. අලුත් අවුරුද්දේ මම ඉතා පැහැදිලිව සහ නොබියව රටට දෙන පණිවුඩය තමයි, ඉදිරි කාලය තුළ එවැනි බරපතළ ආර්ථික අර්බුදයකට අපි යන්නේ නැහැ. අපි ආර්ථික වශයෙන් හොඳ ගමන් මගකට වැටී තිබෙනවා. අගමැතිතුමාත් මමත් අමාත්‍ය මණ්ඩලයත් මහ බැංකුවේ ආර්ථික විශේෂඥයින් මේ සියලුදෙනා සමග අපි යහපත් ප‍්‍රතිඵල ලබාගත හැකි පැත්තකට අපේ ආර්ථික ගමන් මග ගෙනවිත් තිබෙනවා. අද දවසේ තත්ත්වය ගත්විට, අපේ විදේශ වත්කම් ඩොලර් බිලියන 5 කට වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ එම තත්ත්වයේ ඉහළ වර්ධනයක් ඇති වෙනවා. අපේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් උපදේශකවරු විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරනවා. මුදල් ඇමතිවරයා සහ අපේ ආර්ථික විශේෂඥයින් මේ දිනවල සිටින්නේත් වොෂිංටන්වලයි. එහි තොරතුරුත් ඉතා සුබවාදීයි. මහා ආර්ථික අරුබුදයක් මවා පාගෙන අසුබවාදී ලෙස සිතා සියල්ල කඩා වැටෙන බව කිය කියා සිටින විවේචකයින්ට දීමට ඇති පිළිතුර එයයි.

    අපේ අපනයන වෙළෙඳාම විදේශ වත්කම් වැඩි කරලා. අද තේ වලට තියෙනවා ඉහළම මිලක්. තේ මිල පහළ වැටුණාම ජනතාව දේශපාලනඥයින්, මාධ්‍ය ආණ්ඩුවට ගහනවා. අද දීර්ඝ කාලයකට පසුව තේ සඳහා ඉහළ මිලක් ලැබෙනවා. හැබැයි ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. රබර්වලටත් අද ඉතා හොඳ මිලක් තිබෙනවා. 2015 මැද භාගයේ මම කළුතර දිස්ත‍්‍රික්කයේ උත්සවයකට ගිය අවස්ථාවේදී අහිංසක ජනතාව දැඩි ස්වරූපයකින් කිව්වා රබර් මිල සහ තේ මිල පහත වැටීම තුළ ඔවුන්ට ජීවත් වීම අපහසු බව. අද තේ සහ රබර් වලට ඉහළ මිලක් තිබෙනවා.

    අද උදේ මම දැක්කා එක්තරා ජාතික පුවත්පතක සම්පූර්ණ පිටුවක තිබුණා ආර්ථික විග‍්‍රහයක්. එහි සඳහන් කර තිබුණා කෘෂිකර්මාන්තය පහත වැටීම පිළිබඳව. 2016 කාර්තු හතරේම කෘෂිකර්මය සෘණ අගයන් පෙන්නුම් කරන බව සඳහන් කර තිබුණා. තේ රබර් කියන්නෙත් කෘෂිකර්මාන්තයයි. පොල් මිල ඉහළ යාම පාරිභෝගිකයාට ප‍්‍රශ්නයක් වී තිබෙනවා. නමුත් නිෂ්පාදකයාගේ පැත්තෙන් පොල්වලට හොඳ මිලක් තිබෙනවා. හැමදාම විවේචනය කරන වී වලට අද දවසේ ඉතා ඉහළ මිලක් තිබෙනවා. තෙත අමු වී, වී මෝල් හිමියන් ගන්නේ රුපියල් 40 න් ඉහළයි. වී සඳහා ගොවියාට නිෂ්පාදකයාට හොඳ මිලක් ලැබුණට පාරිභෝගිකයාට එහි බලපෑමක් තිබෙනවා. එම ප‍්‍රශ්නය දැන ගෙනයි පසුගිය මාස කිහිපයේම සහල් පිටරටින් ගෙනාවේ. ඒ වෙළෙඳපොලේ තත්ත්වය පාලනය කරන්නයි. අපි සහල් වෙළෙඳපොළ පාලනය කරගත්තා. 2016, 2017 මාස් කන්නයේ නියඟ තත්ත්වයක් ආවා. එය වී වගාකරන කාල සීමාවයි. නියඟ තත්ත්වය තුළ රටේ සහල් නිෂ්පාදනය ඇතු`එ කෘෂිකර්මාන්තයේ 40% ක පහත වැටීමක් අපේක්ෂා කළා. බලාපොරොත්තු නොවූ ආකාරයට නැවත වහින්න පටන් ගත්තා. ඒ තුළ හොඳ තත්ත්වයක් ඇති වුණා. නමුත් වගා කටයුතු ආරම්භ කරන වෙලාවේ වර්ෂාව නොමැතිවීම ආර්ථිකයට බලපෑවා.

    අපි ඖෂධ මිල විශාල ලෙස පහත දැම්මා. කිසිම ආණ්ඩුවක් කිසි දවසක නොකරපු වැඩක්. කිසි කෙනෙක් අත තිබ්බේ නැති වැඩක්. මම සෞඛ්‍ය ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා ඒ පිළිබඳව නායකත්වය ගෙන රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් ඖෂධ මිල විශාල ලෙස පහත දැම්මා මෙන් තව නිදහස් සෞඛ්‍ය සේවාව තුළින් ජනතාවට සහන රාශියක් දීම පිළිබඳව. හෘද ශෛල්‍යකර්මවලදී අවශ්‍ය ස්ටෙන්ත් නොමිලේ දීම ඒ අතරට එකතු වනවා. අක්ෂි කාච පිළිබඳව අවුරුදු ගණනාවක් විශාල ජාවාරමක් තිබෙනවා. රෝහල් ඉදිරිපිට වෙළෙඳසැලක් දා ගෙන දුප්පත් මිනිහාට ගන්න බැරි විදියට අධික මිලකට විකුණුවා. නමුත් අද ඒවත් නොමිලේ දෙනවා. මෙවැනි දේ පැහැදිලිවම දුප්පත් පොදු මහජනතාවට ලබා දෙන සහනයි. බොහෝ අය කියනවා කිසි වැඩක් කරන්නේ නැහැ කියා.

    ලංකා ගමනා ගමන මණ්ඩලය බිලියන 12 ක සේවක අර්ථ සාධක ගෙවා තිබුණේ නැහැ නඩු ඉවරයක් නැහැ. ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ සිට නිලධාරීන් උසාවි ගෙනියනවා. අද ඒ නඩු සියල්ල අවසන් කර තිබෙනවා. බිලියන 12 ක් ගෙවන්න තිබුණ එක බිලියන 6 ක් මේ අවුරුදු එකහාමාර තුළ ගෙවා තිබෙනවා. නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රවාහන ඇමතිතුමා ලෙස මහ මැතිවරණයෙන් පසු පත්වුණා. සේවක සුභ සාධනය, කාර්ය සාධනවල වර්ධනය, ආයතනික ප‍්‍රගතිය සකස් කර තිබෙනවා.

    ලංගම සහ දුම්රිය ඉඩම් සෑම ආණ්ඩුවක්ම අවුලක් කර ගත්තා. ඒ තිබුණු ප‍්‍රශ්න විසඳ ගත්තේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් කවදත් මංකොල්ලයක්. නමුත් අපේ ආණ්ඩුව යටතේ හැකියාව ලැබුණා ඒ සියල්ල නිරවුල් කර මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයකට ඉඩම්වල අයිතිය භාර දෙන්න.

    ඒ විදියට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගැන යම් යම් විවේචන තිබුණා. මම ඒ පිළිබඳ අදාළ ආයතනවලින් විමසීමක් කළා. අද ගුවන් පථය 380 ගුවන් යානා බස්සන්න පුළුවන් තත්ත්වයට හදලා තියෙනවා. මේ ගුවන් පථය පිළිබඳ විශාල ප‍්‍රශ්නයක් තිබුණා. අපිට පුළුවන් වුණා කෙටි කාලයකින් ඒ කටයුත්ත අවසන් කරන්න. සෑම ආණ්ඩුවක්ම ගුවන් තොටුපළේ තිබෙන තීරු බදු වලින් නිදහස් වෙළෙඳසැල් ටික තමන්ගේ හිතවතුන්ට දෙන එක තමයි කළේ. පසුගිය කාලවලදී ඒ හුඟක් ඒවා ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ටයි අයිති වෙලා තිබුණේ. පළමු වතාවට ආණ්ඩුවක් මේ වෙළෙඳසැල් ටෙන්ඩර් දැම්මා. කලින් කළේ කවුරු හරි ඉන්න කෙනෙකුට අත යටින් ගාණක් අරන් ඉන්න කෙනෙකුට දෙන එක.

    අපිට කලින් ආදායම් ලැබිලා තිබුණේ ඒ ආයතනවලින් එන ආදායම්වලින් සියයට 24යි. මේ ටෙන්ඩර් ක‍්‍රමයෙන් පසුව සියයට 40 දක්වා ආදායම වැඩි කළා. රටේ සංවර්ධනය ගැන කතාකරන විට අපි කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරලා කෙටි කාලයකින් මොරගහකන්ද ව්‍යාපෘතියේ වතුර පිරෙව්වා. අද ලංකාවේ තිබෙන ඉහළම ධාරිතාවක් තිබෙන ව්‍යාපෘතියක් මොරගහකන්ද. මීට කලින් පරාක‍්‍රම සමුද්‍රය තමයි එක වෙලා තිබුණේ. අපි ඉතාම කෙටි කාලයකින් ඒ කටයුතුවල සාර්ථකත්වය පෙන්නුවා. මොරගහකන්ද ටනල් එකට අපිට කුවෙට් රජයෙන් මුදල් ලැබුණා. දැන් ඒ වැඩත් පටන් ගන්නවා.

    ලංකාවේ මෑත සිදුවු විශාලතම පාවාදීම වන පෝට්සිටි ගිවිසුමට අපි ආණ්ඩුව ගන්න කොට අත්සන් කර තිබුණේ. මීට පෙර මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම ගිවිසුමකට අත්සන් කරලා තිබුණේ නැහැ. අපි ඒක වෙනස් කළා. චීනයේ හොඳ හිත තියාගෙන චීන රජය සමග සාකච්ඡා කරලා ඒ ගිවිසුම වෙනස් කළා අපි. කෙළිින්ම හෙක්ටයාර් 200ක් සින්නක්කරව දීලා තිබුණේ. අපි ඒක බදු ක‍්‍රමයට ගත්තා. කලින් තිබුණ විදියට එතැනින් හෙලිකොප්ටර් එකක් යන්නත් චීනයෙන් අවසර ගන්න ඕන. ඒ විදියට තමයි ගිවිසුම තිබුණේ. හැබැයි ඒ ගැන කතා කරන්නේ නැහැ. රට පාවාදෙනවා කියලා තමයි කියන්නේ.

    අනෙක් පැත්තෙන් ගත්තාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 2015 මාර්තු මාසයේ එන්න තිබුණ යෝජනා බොහෝ දුර්වල කරලා අපි සැප්තැම්බර්වලට කල් දාගත්තා. අපි කිරීමට හැකි දේ පිළිබඳ පමණක් කටයුතු කරගෙන ගියා. කරන්න බැරි දේවල් අපි කිව්වා කරන්න බැහැ කියලා පැහැදිළිවම. දැන් අපිට මේ පාර පුළුවන් වුණා අවුරුදු දෙකකින් ඒ ආපු යෝජනා කල් දාගන්න. ඒවාට අපි උත්තර බඳින්න ඕන තව අවුරුදු දෙකකින් තමයි. මම හිතනවා කිසිදු ප‍්‍රශ්නයකින් තොරව රටතුළ කළ හැකි සුදුසු වෙනස්කම් කරන්න අපිට පුළුවන් කියලා. අපේ රටේ ආරක්ෂක අංශ ඇතුළු සියලු ක්ෂේත‍්‍රවලට කිසිදු ප‍්‍රශ්නයක් නොවන විදියට ඒ ගනුදෙනුව මම බේරගන්නවා. මට ඒක බොහොම පැහැදිලිිව කියන්න පුළුවන්. අද තිබෙන ජාත්‍යන්තර හොඳ හිතත් සමග.

    ඔබ මාධ්‍ය ප‍්‍රධානීන් විදියට ඔබ අපි මෙන්ම රටේ ජනතාව දකිනවා උතුරේ නැවත පදිංචි කිරීම් සහ අතුරුදන්වූවන් පිළිබඳව විවිධාකාරයේ විරෝධතා තිබෙනවා. අපි නැවත පදිංචි කිරීම් සියයට 60ක ට වැඩිය අවසන් කරලා තිබෙනවා. තව ඉතා සුළු පිරිසයි ඉන්නේ අවතැන් කඳවුරුවල. මේ ඉදිරි මාස කිහිපය තුළ මා බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු අවසන් කරන්න. ඒ වගේම අතුරුදන්වූවන් සම්බන්ධයෙන් මීට පෙර තිබුණ කොමිෂන් වාර්තා අරගෙන ඒ පිළිබඳ ඉල්ලීම් කරන අයට නිවැරදි තොරතුරු ලබාදීම සඳහා මම විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ ප‍්‍රශ්නත් අපිට විසඳගන්න පුළුවන්.

    අනෙක් පැත්තෙන් අපි එළැඹෙන ජාත්‍යන්තර වෙසක් සතිය වෙනුවෙන් ප‍්‍රධාන ආරාධනය කරලා තියෙන්නේ ඉන්දීය අග‍්‍රාමාත්‍යතුමාට. සමාප්ති උත්සවයේ ආරාධිත අමුත්තා වන්නේ නේපාලයේ ජනාධිපතිතුමා. එතුමා පැමිණෙනවා සමාප්ති උළෙලට. ඒ වගේම මේ සඳහා අපි ආරාධනා කරලා තියෙනවා ලොවපුරා බෞද්ධ රටවල් රාජ්‍ය නායකයින්, බෞද්ධාගමික නායකයින් හා ජනතාවට. ඒ නිසා ජාත්‍යන්තර වෙසක් උළෙල ඉතාමත් වැදගත් වෙනවා. ඒ සඳහා ඔබතුමන්ලාගේ සහය බලාපොරොත්තු වෙනවා.

    අනෙක් පැත්තෙන් ගත්තාම රාජ්‍ය අංශයේ කටයුතු සම්බන්ධයෙන් තිබෙන නොයෙකුත් විවේචන. ඒ තත්වයන් සැළකිල්ලට අරගෙන ඉදිරි සති දෙකක් ඇතුළත රජයේ කටයුතු වලට අලුත් මුහුණුවරක් දෙනවා. බොහෝ රාජ්‍ය ආයතනවල තනතුරු වෙනස් වෙන්න පුළුවන්. එහිදී අපි පුද්ගලයින්ගේ වෙනස්කම් වගේම ආයතනික වශයෙන් කළයුතු කාර්ය සාධනයේදී කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් අලුත් වැඩපිළිවෙලක් හඳුන්වා දෙනවා. සංවර්ධන කටයුතු ප‍්‍රගති සමාලෝචනයේදී අපේ සමහර ඇමතිවරු දින ලබාදෙන්නේ නැති නිසා ප‍්‍රමාදයන් ඇතිවෙන බව මට වාර්තා වෙලා තිබෙනවා සමහර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවුරුදු කිහිපයකට එක්වරක් වත් ප‍්‍රගති සමාලෝචනය කරලා නැහැ. අදාළ නිලධාරීන් දින ලබාදී නැති නිසා. නමුත් මම දැන් උපදෙස් දීලා කාලසටහනක් හදලා සියලුම දිස්ත‍්‍රික්කවල සම්බන්ධිකරණ කමිටු රැස්වීම පවත්වන දිනයත් ප‍්‍රාදේශීය ප‍්‍රගති සමාලෝචන දින අපි මෙහෙන් දන්වා යවනවා, අදාළ නායකයින් වෙත සංවර්ධන කටයුතු නිසි ලෙස කරන්න කියලා.

    ඒ වගේම හිටපු විගණකාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා ජනාධිපතිවරයා විසින් විගණනය වෙනුවෙන් කළයුතු වගකීම් පසුගිය වසර ගණනාවක් පුරාම කෙරිලා නැතිබව ඒක මේ වසර දෙකේ මගෙන් වෙලත් නැහැ, හිටපු අයගෙන් වෙලත් නැහැ කියලා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ අමාත්‍යවරුන් පත්කළාට ජනාධිපතිවරයාගේ බලතල තුළ බොහොම පැහැදිළිව කියවෙනවා විගණනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඇති වගකීම පිළිබඳ. එවිට අදාළ අමාත්‍යාංශ තුළ විගණන කටයුතු හා ප‍්‍රගති සමාලෝචන කිරීම් ජනාධිපති විසින් කළ යුතුයි කියලා. ඒ නිසා අපේ අදාළ නිලධාරීන් සමඟ මම මැයි මාසයේ සිට ඒ වැඩපිළිවෙළත් සකස් කරනවා අදාළ විගණන නිලධාරීන් සහ අනෙකුත් ආයතන ප‍්‍රධානීන් ගෙන්වා ගෙන ඒ කටයුතු ක‍්‍රමවත්ව හා විධිමත්ව ඉටුකිරීම සඳහා.

    මීට අමතරව විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණු දෙකක් සම්බන්ධයෙන් මම පැහැදිළි කරන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක සිට බරපතළ ප‍්‍රශ්නයක් වුණ උපවාස, විරෝධතා හා සත්‍යග‍්‍රහ සිදුවුණ හා සිදුවෙමින් පවතින සයිටම් පිළිබඳ ප‍්‍රශ්නය. සයිටම් එක පිළිබඳ ප‍්‍රශ්නයේදී උසස් අධ්‍යාපන ඇමතිතුමා හා සෞඛ්‍ය අමාත්‍යතුමා පසුගිය කාලය තුළ විශාල වෙහෙසක් හා උනන්දුවක් ගත්තා ඒ සඳහා අවශ්‍ය විසදුම් දෙන්න. ඊට පසුව මමත් එතුමන්ලා සමග එකතු වුණා. මම ඊට අදාළ සියලු ආයතන ගෙන්වා සාකච්ඡාවට තුනක් තිබ්බා. ඊට අමතරව අපි අදාළ අංශ සමග වරින්වර සාකච්ඡා කරලා තමයි පසුගිය දිනවල වැඩපිළිවෙළක් සකස් කළේ. ඒ පිළිබඳ පුවත්පත්වල අතිරේක පළවුණා රජය ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන්.

    ඒ ඉදිරිපත් කළ කාරණා වඩාත් පැහැදිලි කිරිමට අවශ්‍ය නම් මම ඒ ගැන ඇමතිවරුන්ට අවස්ථාව ලබා දෙනවා. ඊයේ පෙරෙදා ප‍්‍රකාශ කළ කරුණුවලට අමතරව අපි තවත් අලුත් යෝජනා කිහිපයක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය කි‍්‍රයාත්මත කරන්න තීරණයක් ගත්තා. ඒ තීන්දු ගන්න හේතු වුණේ පසුගිය කාලවලදි කරපු සාකච්ජාවලදි ආපු අදහස් මම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමගත් කතා කළා. ඒ දරුවන් ජනාධිපති කාර්යාලයට ගෙන්වලා ඒ මම ඒ අය සමගත් කතා කළා ඒ අයගේ අදහසුත් ගත්තා. ඒ සියලු අදහස් අනුව මේ ඊයේ පෙරේදා ප‍්‍රකාශයට පත් කරපු කරණුවලට අමතරව මෙන්න මේ කාරණාත් අපි ක්‍රියාත්මක කරන්න ස්ථිර තින්දුවකට ඇවිත් තිබෙනවා, සයිටම් ආයතන පිළිබඳව.

    විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මා සමග සාකච්ජාවේ දි කීයපු කාරණාවක් තමයි මේ සයිටම් ආයතනය තනි පුද්ගලයෙකුගේ ආයතනයක්. ඒ තනි පුද්ගලයෙකුගේ ආයතනයක් විදියට ඒකාධිකාරියක් විදියට පවත්වාගෙන යන්නේ. මෙතන කිසිම පොදු බවක් සාමුහික බවක් නැහැ. ඒ නිසා අපි සයිටම් ආයතනයේ ප‍්‍රධානීන් සමගත් අපේ ඇමතිතුමන්ලා සාකච්ජා කළා. ඒවගේම මමත් තොරතුරු හුවමාරු කර ගත්තා. සම්පුර්ණයෙන්ම තනි පුද්ගලයෙකුගේ අයිතියෙන් බැහැරව මෙය කොටස් වෙළ‍ෙඳපොළට දාලා. පෞද්ගලික එහෙත් සාමුහික ආයතනයක් විදියට ව්‍යවස්ථාපිත ආයතනයක් විදියට ස්ථාපනය කරන්න. අනෙක් එක සාමාන්‍ය මහජනයාටත් කොටස් අයිතිය කැමති නම් රුපියල් 100 ක් දාලා කොටස් අයිතිය ගන්න. ඒ සදහාත් ඉඩ කඩ ලබා දෙමින් මේ තනි අයිතියෙන් බැහැර කරලා, මෙය පොදු සාමුහික ආයතනයක් බවට පත් කිරීම කළ යුතුයි කියලා ඒ ගොල්ලන්ට නියෝග කරනවා.

    ඊළග කාරණා තමයි මෙහි කළමනාකාරීත්වය සහ පාලන අධිකාරියත් තනි පුද්ගල අයිතියක් මත මෙතෙක් තිබෙන්නේ. අපි සම්පුර්ණයෙන්ම ඒ ගැන ප‍්‍රතිපත්ති තීන්දුවක් මත නියෝග කරනවා පාලක මණඩලයක් පත් කළ යුතුයි කියලා. පාලක මණ්ඩලයක් යටතේ පරිපාලන කළමනාකාරීත්්වය ඒ කටයුතු සියල්ල කළ යුත්තේ කියලා. ලෝකයේ විශේෂයෙන් රාජ්‍ය නොවන අධ්‍යාපනය ආයතන, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල තිබෙන සැලසුම් ක‍්‍රමවේදයන් සැළකිල්ලට අරගෙන.අපි රජයක් විදියට පැහැදිලිව පිළිගන්නවා නිදහස් අධ්‍යපනය ශක්තිමත් කිරීම වගේම නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ගුණාත්මක කිරීම, විධිමත් කිරීම, ප‍්‍රමිතියෙන් උසස් කිරීම, කාර්යක්ෂම කිරීම, සම්පත් ලබාදීම, වැඩි ප‍්‍රතිපාදන ලබාදීම එය අපේ ප‍්‍රමුඛ කාර්යය වගේම ලෝකයේ ඉහළ සංවර්ධනයක් තිබෙන දියුණුම රටවල්වල ඉඳලා, අද අඩු සංවර්ධනයක් තිබෙන රටවල් පවා පිළිගත් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන අපේ රටේ තිබිය යුතුයි කියන එක අපි ප‍්‍රතිපත්තියක් විදියට පිළිගන්නවා. මේ දක්වා ඔබ දන්නවා වෛද්‍ය පිඨයක් ඇරණු කොට අනෙක් සියලු පෞද්ගලික අධ්‍යාපන අංශ මේ රටේ තිබෙනවා.

    වෛද්‍ය උපාධිය සඳහා රජය තීන්දු කරලා තිබෙන ක‍්‍රමවේදයන් තුළ වෛද්‍ය උපාධියේ අවම සුදුසුකම් රජය ප‍්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඔබ දන්නවා වාර්ෂිකව මේ රටෙන් 75000 ක්, 85000 ක් අතර දරුවන් සංඛ්‍යාවක් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යනවා. අවුරුද්දකට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් 125000, 150000 අවශ්‍ය සුදුසුකම් ලැබුවත් 25000 කට තමයි විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙන්නේ රජයේ නිදහස් අධ්‍යාපනය ලබන්න.

    ඉස්සර නම්, පිට රට යැවුවේ පොහොසත් පවුල්වල දරුවෝ. අද එහෙම නැහැ අද ඉතාම දුප්පත් පවුල්වල දරුවෝ තමන්නේ කන කර විකුණලා, ඉඩ කඩම් විකුණලා දෙමව්පියෝ දරුවන් පිට රට යවනවා. දරුවන්ට උගන්වන්න දරුවන්ගේ අනාගතයට.

    අපි ඒ පැත්තත් අපි හිතන්න අවශ්‍යයි. ලෝකයේ දියුණු රටවල්වල තිබෙන අධ්‍යාපන සැලසුම් ක‍්‍රමවේදයන් අධ්‍යාපනය කියන එක විවෘත වෙන්න අවශ්‍යයි අධ්‍යාපනය කියන එකට වයස් සීමාවක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය තමයි ප‍්‍රමුඛ වෙන්නේ. ඒ තුළ අපි නිදහස් අධ්‍යාපනය පැහැදිලිව ශක්තිමත් කරමු. විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රය වඩ වඩාත් ශක්තිමත් කරමු.

    විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන දරුවන්ගේ අනාගතයට කිසිදු හානියක් නොවන විදියට ඒ අයගේ සියලු අයිතිවාසිකම් වරප‍්‍රසාද ශක්තිමත් කරමින් අපි මේ තීරණ අරන් තියෙන්නේ මේ සයිටම් ආයතනය සම්බන්ධයෙන්. සයිටම් ආයතනයේ දෙන ශිෂ්‍යත්ව ප‍්‍රමාණය වැඩි කරන්න කියලා අපි දන්වලා තියෙනවා. අන්තරේ ශිෂ්‍යයින් කියපු කරුණාවක් තමයි ඉතා අධික මුදලක් අය කරනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඒ තියෙන ආදායම් තත්වයත් එක්ක ඒ තියෙන කළමනාකරීත්වයත් එක්ක ඒ අයට තීන්දුවක් ගන්න මේ ශිෂ්‍යයන් හට සහන දෙන සංශෝධනයක් ඇති කළ යුතුයි කියන කාරණාව.

    කාගේත් අවධානය යොමු වෙලා තියෙන මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව. මේ ඛේදවාචකයේ වගකීම මේ ප‍්‍රශ්නය විසඳීමට නීතිමය බලය සහ අයිතිය තියෙන සියලු ආයතන වෙත පැවරෙනවා මේ ඛේදවාචකයේ සිදු වීම. පසුගිය අවුරුදු එක හමාර ගත්තොත් මේ වෙනුවෙන්ම අදාළ ආයතන මම රැස්වීම් තුන් සැරයක් පැවැත්වුවා. මෙතුමන්ලා දන්නවා කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව ඒ කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ඇයි ප‍්‍රමාද වීම් ඇති වෙන්නේ කියන කාරණාව. අපේ රටේ ප‍්‍රධාන වශයෙන් ආයතනික බලය පිළිබඳව තිබෙන කඹ ඇදිල්ල තමයි මේ ඛේදචාචකයට මුල. අවශ්‍ය තීන්දු තිරණ අරගෙන ඒවා කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් දුන්නහම ඒවා ක්‍රියාත්මක නොකර තමන්ගේ බලය සහ අයිතිය පිළිබඳව කඹ ඇදීම ප‍්‍රධාන හේතුවක්. අනෙක් පැත්තෙන් ඔබ කවුරුත් දන්නවා මේ කුණු කන්ද සමහර අයට පවත්වාගෙන යන්න උවමනාව තිබුණා. සමහර අයට මෙතන කුණු පිරෙන කොට තමයි කැමති. කුණු ලොරියක් මෙතන බ්‍රොකර්ලාට රුපියල් 1500 දෙන්න ඕනෑ.

    ලොරියක් පිට කරන කොට රුපියල් 1000, 1500 දෙන්න අවශ්‍යයි. මෙවැනි තත්ත්වයක් මෙතන තිබිලා තියෙන්නේ. කාටත් ඇගිලි දික් කරනන් අවශ්‍ය නෑ අපි. ප‍්‍රශ්නය විසඳිය යුතු වෙලාවේ විසඳීමක් ක්‍රියාත්මක නොවී තිබියදී ඒ අනුවේදීය ඛේදවාචකයක් සිදුවුණේ. මේ සිද්ධිය වගේ දේවල් අපේ රටේ නැවත ඇති නොවන්න සියලු ආයතනවල වගකීම් දරන සියලුදෙනා, රාජ්‍ය සියලු නිලධාරීන්, දේශපාලනඥයින් හැම කෙනෙක් වගබලා ගැනීම අවශ්‍ය වෙනවා.

    අපි ඒ නැති වුණ ජීවිතවලට වන්දි ගෙව්වත් ඒ මුදලින් ඒ අය නැවත උපදින්නේ නැහැ. අපි රටක් විදියට හිතන්න ඕනෑ මේවැනි දෙවල් නැවත ඇති නොවන විදියට මේ සියලු අංශවල කටයුතු කරන්න අවශ්‍යයි.

    මම ලබන සතියේ පත් කරනවා දැනට කි‍්‍රයාත්මක වෙන වැඩපිළිවෙළට අමතරව දැනට ඒ අනතුරු දායක ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම, ඒ අයට නිවාස ලබා දිම, ඒවගේම කුණු කන්ද එතැනින් ඉවත් කිරීම සඳහා කමිටුවක් ඇමතිතුමන්ලා, අදාළ අංශ ඒ පිළිබඳව කටයුතු කරගෙන යනවා. නමුත් බලාපොරොත්තු වෙනවා මේ මීතොටමුල්ල කුණු කන්දේ පසුබිමත් එක්ක මේ ඇතිවුණ ඛේදවාචකයත් තත්වය සැළකිල්ලට ගෙන මම විශ‍්‍රාමික විනිසුරුවරයෙක් පත් කරනවා මේ සිද්ධිය මේ තත්ත්වයට ඇතිවීමට හේතු වාර්තාවක් ලබා ගන්න කියලා. තීන්දු තීරණ ගත්තත් කොතනද ඒක සිද්ධ වුණේ නැත්තේ කොහෙන්ද වැරුද්ද වුණේ. කරුණු ඉදිරිපත් කරන්න විවෘත මම ඉඩ කඩ ලබා දෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ මාසයක් වගේ කෙටි කාලයකින් ඒ කටයුතු අවසන් කරන්න. ඒ තුළ අපි කාටත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි වැරුද්ද කොතනද කියන එක රටට කියන්න සිද්ධ වෙනවා හරි හැටි නීතියානුකූලව විධිමත්ව කියන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාගේ කාරණික අවධානය යොමු කරන්න.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya