අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුළු රුහුණටම රැකියා

    අප්‍රේල් 02, 2017

    ජේ.ආර්. ජයවර්ධන මහතා මහවැලි වතුර රජරටට ගෙනවිත් දියුණු කළා මෙන් අපි හම්බන්තොට වරාය මාර්ගයෙන් කර්මාන්ත කලාප පිහිටුවා මුළු රුහුණටම රැකියා ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.


    ත්‍රීකුණාමලය, මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයයේ  ඊයේ (31) පැවැති යොවුන් පුරය 2017 තරුණ හමුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    "උතුරු, නැගෙනහිර ප්‍රදේශයේ පවත්වන පළමු යොවුන් පුරය මෙයයි. උතුරේ හා දකුණේ තරුණ තරුණියන් එකට එක්වී පවත්වන යොවුන් පුරයයි. යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශයේ පැවැත්වෙන මේ යොවුන් පුරය නරඹන්නයි මා ඉල්ලා සිටිනවා. මේ ප්‍රදේශය සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලුදෙනාම ජීවත්වන ප්‍රදේශයයි. මෙම යොවුන් පුරය තරුණයන්ගේ ජීවිතය ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න ලබා දෙන පුහුණුවයි. ඒ වගේම නගර සභාවක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පුහුණුවද ලබා දෙනවා.
     
    ඡන්ද ක්‍රමය පිළිබඳව ඔබ විමසා සිටියා, එනම් කේවල ක්‍රමය හා අනුපාත ක්‍රමය මිශ්‍රවූ ක්‍රමයකට යාම සඳහා සාකච්ඡා කරමින් සිටිනවා. තරුණයන්ට දේශපාලන අධ්‍යයනය ලබා දීමටත් අපි සූදානමින් සිටිනවා. ගමට කෝටියක්, යූත් විත් ටැලන්ට් රියැලිටි වැනි වැඩසටහන්වලින් තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කර ඉදිරියට පැමිණීමට හා ගමේ නායකත්වය ලබාගැනීමට ඔබ දැනගත යුතුයි.
    මම දේශපාලනයට පැමිණෙනවිට යොවුන් වැඩසටහන් කියා කිසිවක් තිබුණේ නැහැ. වයස 28 වන විට පාර්ලිමේන්තුවට ඇතුල්වුණා. ඉන්පසුව ඇමැති කමක් ලබා ගත්තා. සමහරු පළාත් සභාවට තේරීපත් වුණා. ඒ තමන්ගේ දක්‍ෂකමින් කියා කිව යුතුයි. අධිෂ්ඨාන සහගතව ඒ මාර්ගයේ යනවා නම් කවුරුත් වැටෙන්නේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පැවසුවා මෙන් ලිස්සන ගහේ යනවා වගේ දේශපාලන ගමනේ යා යුතුයි. ඔබ ඉදිරිපත් කළ ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමුකරන බව කියන්නට කැමැතියි.
    අවුරුදු 13 ක අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. දැනට පාසලේ සිටින අයට වෘත්තීය පුහුණු ලබාදීමටත් කටයුතු කරමින් සිටිනවා. පුද්ගලික උපාධි ආයතනවල පුහුණුව ලබන අයට සහනදායි ණය ක්‍රමයක් හඳුන්වා දෙන අතර, ඔවුන්ට එම ණය ගෙවීමට සිදුවන්නේ රැකියාවක් ලබාගත් පසුවයි. ඉංජිනේරු තාක්‍ෂණ හා කළමනාකාර උපාධි හදාරන අයට කෙසේ හෝ රැකියාවක් ලබා ගත හැකියි. ක්‍රමානුකූලව මෙම ණය ක්‍රමය ඉදිරියට ගෙනයාමට අප බලාපොරොත්තු වෙනවා.
    අද රැකියා ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. උතුරේ වැසී තිබෙන උළු කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දෙන මෙන් ඉල්ලීමක් කළා. උතුරේ පමණක් නොව දකුණේත් අලුතින් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. වයඹ පළාතේ කර්මාන්ත පුර පමණක් නොව විශාල සංචාරක පුරයක් ඇති කිරීමටත් යෝජනා කර තිබෙනවා. ත්‍රිකුණාමලේ වරාය දියුණු කිරීම සඳහා සිංගප්පූරු සමාගමක් සමග වැඩකටයුතු සිදුකරමින් සිටිනවා. මේ සඳහා ජපානයේ හා ඉන්දියාවේ ද සහයෝගය ලබා ගැනීමට අපේක්‍ෂා කරනවා. යාපනය, නුවර, බදුල්ල ඇතුළු දකුණු ප්‍රදේශය මුල්කර ගනිමින් මෙම කර්මාන්ත පුර ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.
    විශේෂයෙන්ම හම්බන්තොට ව්‍යාපෘතිය ගැන සඳහන් කළ යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මහතා මහවැලි වතුර රජරටට ගෙනවිත් දියුණු කළා මෙන් අපි හම්බන්තොට වරාය මාර්ගයෙන් කර්මාන්ත කලාප පිහිටුවා මුළු රුහුණටම රැකියා ලබා දෙන බව ප්‍රකාශ කිරීමට කැමැතියි.

    විශාල ණය උගුලක් බවට පත්වී තිබෙන හම්බන්තොට වරාය ඉදිරියේදී ජාතික සම්පතක් බවට පත් කිරීම අපේ අපේක්‍ෂාවයි. හම්බන්තොට වරාය ඉදිකිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා චීන එක්ෂිම් සංවර්ධන බැංකුවෙන් ඩොලර් කෝටි 130 ක ණය අරගත්තා. අවුරුදු 5ක් ඇතුළත මුදල් උපයා ගත හැකි බවත් ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය 2016 වර්ෂය වනවිට ගෙවීමට හැකි බවත් නිළධාරීන් පවසා තිබුණා. නමුත් වරායෙන් ආදායම් ලැබුණේ නැහැ. විශාල වෙහෙසක් දරා මේ වන විට අපට ගෙවන්නට හැකිවී තිබෙන්නේ ඩොලර් කෝටි 20 ක් පමණයි.
     
    2013 වර්ෂය වන විට හම්බන්තොට වරායට නැව් නොපැමිණි නිසා කොළඹවරායෙන් මුදල් ලබාගෙන හම්බන්තොට වරාය නඩත්තු කිරීමට සිදුවුණා. 2014 වසරේ චීන ජනාධිපතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ආණ්ඩු දෙක අතර ගිවිසුමකට පැමිණියා. ඒ අනුව චීන ආණ්ඩුවේ සේද මාවත ව්‍යාපෘතියට හම්බන්තොට ඇතුල් කර, හම්බන්තොට වරායේ කොටසක් දියුණු කිරීමට චීන සමාගම් දෙකකට ලබා දුන්නා. නමුත් මේ ක්‍රමය අවාසි දායක බව අපට පෙනී ගියා.
    එම ක්‍රමය යටතේ අප ණය ගෙවන විට එයින් ලාභ ලබන්නේ චීන සමාගමයි. මෙය පුදුම ක්‍රමයක්. අප පහන් පත්තු කළත් නිවන් දකින්නේ ඔවුන්. ණය ගෙවීමටවත් නොහැකි තත්ත්වයක මේ ක්‍රමයට යා යුතුද?
    අප බලයට පැමිණෙනවිට අපේ ආර්ථිකය ඉතාමත් අමාරු තැනකයි තිබුණේ කෝටි 3600 ක විශාල ණය මුදලක් ගෙවීමට සිදුවුණා. ගත් ණය ප්‍රමාණය හම්බන්තොට වරායෙන් ගෙවීමට නොහැකි වූ නිසා කොළඹ වරායෙන් ගෙවීමට සිදුවුණා. මේ ණය ගෙවීමට වැට් බද්ද වැඩි කළා නම් ඡන්දය ලබාදුන් අය අපව ගහලා පන්නාවී. ජනතාව අමාරුවේ දමන්නට බැහැ. මේ තත්ත්වය හමුවේ 2016 වසරේ ඇමැති කණ්ඩායමක් සමග මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමට චීනයට ගියා. එහිදී අප පෙන්වා දුන්නේ මේ ණය කන්දරාව ගෙවීමට නොහැකි බවයි. මෙය අසාර්ථක ක්‍රමයක් බවට පෙන්වාදී මෙම ණය අහෝසි කරන මෙන් ද ඉල්ලා සිටියා. ඉන්අනතුරුව චීන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර අපට සහනයක් ලබා දීමට එකඟවුණා. නමුත් ණය අහෝසි කිරීමට නොහැකි බව ඔවුන් පවසා සිටියා.
    හම්බන්තොට වරායේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයන්න චීන-ලංකා හවුල් සමාගමකට බදු දීමටත් එම බද්ද එකවරම අය කරගෙන ඒ මගින් සම්පූර්ණ ණය ගෙවන ලෙසට යෝජනා ඉදිරිපත් වුණා. ණය උගුලෙන් බේරීමට මෙය කදිම අවස්ථාවක් හෙයින් අප ඊට එකඟත්වය පළ කළා. චීන ආණ්ඩුවෙන් ආයතන 2ක් ඉදිරිපත් කළා. අප වරාය අධිකාරිය නම් කළා. චීන සමාගම් දෙකින් එක් සමාගමක් ඩොලර් කෝටි 110 ක් බදු දීමට කැමැත්ත පළ කර සිටියා.
    එම මුදල ගෙව්වායින් පසු අපට ණය බරක් පැටවෙන්නෙ නැහැ. ඒ සමඟ අපට සියයට 20 ක කොටස් නොමිලේ ලබා දෙන බවත්, ඉතුරු කොටස් පිළිබඳව සාකච්ඡා කළ හැකි බවත් පැවසුවා. අපේ කොටස් ප්‍රමාණය වැඩි කළ හැකිද කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විමසා සිටියා. සියයට 40 ක කොටස් ලබාදිය හැකිවූවත් ඒ කොටස්වල මිල ඩොලර්වලින් ගෙවීමට සිදුවන බව ඔවුන් දන්වා සිටියා. සියයට 20 ක කොටස ගෙවීමට පවා අමාරු මොහොතක මෙම මුදල් ඩොලර්වලින් ගෙවීම ගැටලුවක්. ගෙවිය හැක්කේ කෙසේද යන්න පැහැදිලි කර සිටියා. අවුරුදු 10 ක කාල සීමාවක් ලබා දෙනවා නම් සියයට 40 ක කොටස් නොව සියයට 45 ක කොටස් වුවත් ලබා ගැනීමට හැකි බව අප ඔවුන්ට පෙන්වා දුන්නා.

    අවසන් එකඟතාවකට පැමිණ චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගම පිහිටුවීමත් සමගම එම ඩොලර් කෝට් 110 ක් ලැබෙනවා. එවිට අපේ ජාතික ණය බරින් ඩොලර් කෝටි 110 අඩුවීමේ වාසිය අපේ රටටයි.
     
    කර්මාන්ත ශාලා ඉදිවන්නේ හම්බන්තොට වරාය ආශ්‍රිතවයි. මේ වරාය වැදගත් වන්නේ එම නිසයි. ආයෝජිකයින් බොහෝ ප්‍රමාණයක් මෙහි ආයෝජනය කිරීමට සිය කැමැත්ත පළ කර තිබෙනවා. මෙම කර්මාන්ත පුරයට තෙල් පිරිපහදුවක්, නැව් තටාකාංගනයක්, එල්.එන්.ජී. විදුලි බලාගාරයක්, වානේ කර්මාන්ත ශාලාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලා දෙකක් ඇතුළත් වෙනවා. මෙයින් වාසිය ලැබෙන්නේ කාටද? මෙම කර්මාන්ත ශාලා ලබාගන්නද? එපාද?
    මෙම කර්මාන්ත ශාලා ආරම්භකළායින් පසු අවුරුදු කිහිපයක් තුළ කර්මාන්ත ශාලා 700, 800 ක ප්‍රමාණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. කොළඹ ප්‍රදේශය මෙන් හම්බන්තොට ප්‍රදේශය ද දියුණුවට පත්වෙනවා. අප දියත් කරන්නේ මේ වැඩසටහනයි.
    ණය උගුල සම්පතක් බවට පත්වෙන බව මා පවසන්නේ එම නිසයි. ජේ.ආර්. මහතා ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබාදුන්නා මෙන් කර්මාන්ත කරණය සඳහා කර්මාන්ත ශාලා ඇති කරනවා. දකුණට විශාල දියුණුවක් ලැබෙනවා. මේ සඳහා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාවක් ඇති කර ඒ මාර්ගයෙන් කර්මාන්ත ශාලා සඳහා ඉඩම් බදු දීමට ක්‍රියා කරනවා.
    මේ ආකාරයෙන් ණය බර අඩු කරගනිමින්, කර්මාන්ත ශාලා සිය ගණන් ඇති කළේ නැත්නම් අප විශාල අර්බුදයකට මැදි වනවා. වරාය සඳහා ගත් ණය 2017 වනවිට ආපසු ගෙව්වේ නැති නම් පසුගිය රජය ඇති කර තිබුණ ගිවිසුම අනුව වරායේ අයිතිය චීන සමාගමට පවරා දිය යුතු වනවා. අප මේ පිළියම් සොයන්නේ ඒ අර්බුදයටයි.
    මේ සඳහා පිළියම් සොයන විට රට විකුණන බවට කෑගහනවා. පෝර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටයර් 20 ක් හෝ 30 ක් සින්නක්කරයට විකිණීමට සැලසුම් කර තිබුණා. අප එය වෙනස් කළා. සින්නක්කර දීම වෙනුවට 99 අවුරුදු බදු පදනම යටතේ ඉඩම් ලබාදීමට අප තීරණය කළා.  
    අද 99 අවුරුද්ද බද්ද ගැන කෑගහන උදවිය ෂැංග්‍රීලා හා ඉන්දියන් හෝටල් කිහිපයක් සඳහා 99 අවුරුදු බද්දට එදා ඉඩම් ලබා දුන්නා. එදා සින්නක්කරව රට විකිණීමට ගිය අය අද අපට කෑගහනවා. කර්මාන්ත ශාලා 700ක්, 800 ක් ඇති කිරීම රට විකිණීමදැයි මා ඔබෙන් ප්‍රශ්න කර සිටිනවා. අපට අවශ්‍ය වන්නේ මේ රටේ ජනතාවට හා තරුණ තරුණියන්ට ණය බරෙන් තොර හොඳ අනාගතයක් ඇති කිරීමයි.
    ඩී.එස්. සේනානායක මහතා ජනපද ව්‍යාපාර පටන්ගත් අවස්ථාවේ පොළොන්නරු වැනි ප්‍රදේශයේ  කපුටන් තරම් විශාල මදුරුවෝ සිටි බව කියමින් කෑගැසූ ආකාරය අපට මතකයි. පොළොන්නරුවේ ජනපද ඇති නොකරන්නැයි ඔවුන් කෑගැසුවා. නමුත් අද පොළොන්නරුවෙන් ජනාධිපතිවරයෙකුත් බිහි වී තිබෙනවා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහවැලිය ආරම්භ කරන අවස්ථාවේදී මුදල් නාස්ති කරන බවට දොස් කිව්ව හැටිත් අපට මතකයි.  කණ්ඩලම හෝටලය ඉදිකිරීමට විරුද්ධව විශාල සටනක් ගියා. අද සංචාරකයෝ විශාල පිරිසක් එම ප්‍රදේශයට පැමිණෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟළුම් කර්මාන්ත ශාලා ආරම්භ කරන අවස්ථාවේදී බොහෝ පිරිස් කෑගැහුවා.
    කවුරු කෑගැහුවත් අපට ප්‍රශ්නයක් නෑ. අපට අවශ්‍ය වන්නේ වැඩකටයුතු කර රට දියුණු කිරීමයි. ණය බර ගෙවන්න බැරිව චීන සමාගමට වරාය ලබා දෙනවාද නැත්නම් අපේ අතට පත්කර දියුණු කරනවාද යන්න ඔබත් කල්පනා කර බලන්න."

     

    PM at Yowun Pura 2

     

    Yowun Pura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya