අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කලාපයේ සියලු රටවල් පොදු එකඟතාවයකට එළැඹිය යුතුයි- ජනපති

    මාර්තු 07, 2017

    ඉන්දියානු සාගර කලාපයේ රටවල් මුහුණදී සිටින බරපතළ අභියෝගයක් වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කලාපයේ සියලු රටවල් පොදු එකඟතාවයකට එළැඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ අද (07) පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඇරඹුණු ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායකයින්ගේ සමුළුව අමතමිනි.

    මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහෝ විට සාගර නාවික මාර්ග උපයෝගී කර ගන්නා අතර එක් එක් රටවල ආධිපත්‍යයෙන් පිටත ජාත්‍යන්තර සාගර කලාපයේ දී මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා නිසි ක‍්‍රමවේදයක් නොමැතිකම බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා විසඳුම් සෙවීමේ නිසි ක‍්‍රමවේදයක් සැකසීමට ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ කඩිනම් අවධානය යොමු විය යුතු බවට ද යෝජනා කළේය.

    අද නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම කර්මාන්තයක් තරමටම පැතිර තිබීම පිළිබඳ කලාපයේ සියලු රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු විය යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට විවිධ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වූ නමුත් එයින් සෑහීමකට පත්විය හැකි තරම් ප‍්‍රතිඵල ලැබී නොමැති බව ද පෙන්වා දුන්නේය.

    ඉන්දියානු සාගර කලාපය යාබද රටවලට ආර්ථික වශයෙන් ප‍්‍රතිලාභ ගෙන දෙන නමුත් නෞකා ගමනා ගමනයේදී එල්ලවන ත‍්‍රස්තවාදී කි‍්‍රයා, මංකොල්ලකෑම් වැනි අපරාධ පිළිබඳ කලාපයේ සියලු රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා ඉ පැහැදිලි කළේය.

    ඉන්දියානු සාගර කලාපයේ සම්පත් මාවතේ වැදගත් ස්ථානයක පිහිටි ශී‍්‍ර ලංකාවේ පිහිටීම රටේ වෙළෙඳ, සංචාරක, ප‍්‍රවාහන ආදි විවිධ ක්ෂේත‍්‍රවල උපරිම ප‍්‍රයෝජන ලබාගත හැකි පරිදි භාවිතා කිරීම වත්මන් රජයේ අරමුණ බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

    ඉන්දියානු සාගර කලාපය සීඝ‍්‍රයෙන් වර්ධනය වන කලාපයක් වන අතර එහිදී මතුවන ප‍්‍රශ්න සහ අභියෝගවලට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ කඩිනම් සංවාදයක් ඇරඹීමට මෙම සමුළුව ඉතා උචිත ස්ථානයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ඉන්දියානු සාගර කලාපීය නායක සමුළුව වෙනුවෙන් මීට පෙර සභාපතිත්වය දැරූ ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව ඉටු කළ සේවය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා මෙවර සමුළුවේ සත්කාරක රටවන ඉන්දුනීසියාව ඉටු කරනු ලබන මහඟු සේවය ද ඇගයීමට ලක් කළේය.

    එමෙන්ම සමුළුවේ මීළඟ සභාපතිත්වය හිමිවන දකුණු අපි‍්‍රකාව වෙත ජනාධිපතිතුමා සිය සුබපැතුම් එක් කළේය.

    ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද (07) පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අභිමානවත් අයුරින් ආරම්භ කෙරිණි.

    සමුළුව පැවැත්වෙන ජකර්තා නුවර සම්මන්ත‍්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ (Joko Widodo) මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    දකුණු අපි‍්‍රකානු ජනාධිපති, ඉන්දියා උප ජනාධිපති, සීෂෙල්ස් උප ජනාධිපති, ඕසේටේ‍්‍රලියා අගමැති, බංගලාදේශ අගමැති ඇතුළු ඉන්දියානු සාගර කලාපයේ රටවල් 21 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටී අතර ඔවුන්ගෙන් ද ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමාට හිමි වූයේ ඉහළ පිළිගැනීමකි.

    ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ සම්මුතියට ද මෙහිදී රාජ්‍ය නායකයින් අත්සන් තැබූ අතර ඊට ශී‍්‍ර ලංකාවේ උපරිම කැපවීම සනිටුහන් කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද සම්මුතියට අත්සන් තැබීය.

    ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඇරඹුණු ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායක සමුළුව අමතා ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව

    "මෙම සුන්දර ජකර්තා නගරයේ සිට, ඉන්දියානු සාගර කලාපීය සංගමයේ 20 වැනි සංවත්සරය අවස්ථාවේදී පැවැත්වෙන, ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ලැබීම ගැන මම අතිශයින් සතුටට පත්වීමි.

    මෙම සමුළුව විශිෂ්ට ආකාරයෙන් සංවිධානය කිරීම පිළිබඳව ඉන්දුනීසියානු ජනරජයට ද ස්තුතිය පළකරමි. මා සහ මාගේ නියෝජිත පිරිස සාදරයෙන් පිළිගෙන අපට දැක්වූ ආගන්තුක සත්කාරයන් මම හෘදයාංගමව අගය කරමි.

    මෙම ඓතිහාසික අවස්ථාවේ මෙම සමුළුවේ සභාපතීත්වය දරමින් ඉන්දුනීසියාව ඉටුකළ සක‍්‍රීය භූමිකාවත්, මෙම වැදගත් අවස්ථාව සමරනු වස් ඉන්දියානු සාගර කලාපීය සංගමයේ සාමාජික රටවල් එක්කිරීමට සහ කලාපයේ කැමැත්ත සංගමයේ අභිමතාර්ථ තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම මත ඉන්දුනීසියාව විසින් දරන ලද වෑයම මම අගය කරමි.

    මින් පෙර සභාපතීත්වය දැරූ ඉන්දියාව හා ඕස්ටේ‍්‍රලියාව විසින් ඉටුකරන ලද ක‍්‍රියාශීලි භූමිකාව සඳහා ද මම කෘතඥතාවය පළකරමි.

    ඉන්දියානු සාගර කලාපීය සංගමය 1977 වසරේදී ඇරඹීමත් සමග කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පුළුල් ක‍්‍රමයක් සහිත රාමුවක් ගොඩ නංවමින් සිටියි. සාමාජික රටවල එකමුතු බව හා කැපවීම, පසුගිය වසර 20 තුළ ඉන්දියානු සාගර කලාපීය සංගමය විසින් අත්පත් කරගන්නා ලද විශිෂ්ට ප‍්‍රගතියයි. මෙම සංගමයේ සාමාජිකයෙකු වීම ශ‍්‍රී ලංකාවට ආඩම්බරයට කරුණකි.

    මෙම සමුළුවේ තේමාව වන “සාමකාමී, තිරසාර හා සමෘද්ධිමත් ඉන්දීය සාගරයක් සඳහා සමුද්‍රිීය සහයෝගීතාව ශක්තිමත් කිරීම” සත්‍ය වශයෙන්ම කාලීන හා අදාළ වූවකි.

    පසුගිය වර්ෂවලදී බොහෝ අංශ තුළ විශේෂයෙන්ම සමුද්‍රිීය සහයෝගීතාව හා වගකීම් සහගත මෙන්ම තිරසාර ආකාරයෙන් ඉන්දියානු සාගරයේ සම්පත් භාවිතා කිරීමේදී ඉතා අවශ්‍ය වූ ධනාත්මක ප‍්‍රවණතා නිර්මාණය කරගැනීමට එක්රැස්වීමට කණ්ඩායමක් ලෙසට අපට හැකි වී තිබේ.

    පවත්නා සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, අපේ අන්තර් කලාපීය සබඳතා ඉහළ නැංවීමටත් අප දරන්නා වූ උත්සාහයන් දිගටම පවත්වාගෙන යා යුතුය. මෙම සන්දර්භය තුළ කලාපීය සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියානු සංගමය (SARRC) හා අග්නිදිග ආසියානු සංගමයේ (ASEAN) නායකයින් අතර සංවාදයක් ආරම්භ කිරීම ද අත්‍යාවශ්‍යය.

    මෙම සංගමයේ වත්මන් සභාපතීත්වය දරන ඉන්දුනීසියාව අග්නිදිග ආසියානු සංගමයේ ද සාමාජිකයෙකු වන හෙයින් ඉන්දියානු සාගර කලාපීය සංගමයේ සාමාජික රටවල්, එහි සංවාද හවුල්කරුවන් හා සියලු ප‍්‍රධාන හා මධ්‍යම බලවතුන් ද සම්බන්ධ කරගනිමින් සංවාදයක් ආරම්භ කිරීම ප‍්‍රයෝජනවත්ය.

    ඉන්දියානු සාගරයේ සුරක්ෂිතතාවය හා ආරක්ෂාව මෙන්ම එහි සන්නිවේදන, මුහුදු මාර්ගයන්ගේ ආරක්ෂාව සහතික කිරීමත් එයට සම්බන්ධ වී සිටින රාජ්‍යවල සම්මුතියෙන් සාමකාමී සාමුද්‍රික ආරක්ෂණ අවකාශයක් සඳහා එකඟත්වයක් ස්ථාපනය කිරීම හා අපේ අන්‍යෙන්‍ය ප‍්‍රතිලාභයන් සඳහා සමුද්‍රික ආරක්ෂණ සහයෝගීතාවන් ශක්තිමත් කිරීම අපේ අරමුණයි.

    ඉන්දියානු සාගර කලාපය ලොව වේගයෙන් වර්ධනය වන කලාපීය ආර්ථිකයන්ගෙන් එකක් බවට පත්වී තිබේ. මෙම සන්දර්භය තුළ කලාපයේ වත්මන් ගැටලු හා අභියෝගතා සමග ගනුදෙනු කිරීමේදී එහි සාමාජික රටවල් සඳහා යෝග්‍යතම හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමේ වගකීම ඉන්දියානු සාගර කලාපීය සංගමයට තිබේ.

    ආර්ථික වාසි පිළිබඳ අවධානය යොමුක කරන අතරතුර සමුද්‍රීය ත‍්‍රස්තවාදය හා මුහුදු කොල්ලකෑම් වැනි මුහුදේ පවත්නා අනතුරු පරීක්ෂා කිරීම ද අත්‍යවශ්‍යය. ඔබගේ අවධානය යොමුකරවීමට කැමති අනෙක් වැදගත් කරුණක් වන්නේ සුවිශාල කර්මාන්තයක් වැනි තත්ත්වයකට පැමිණ ඇති මුහුදු මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමයි. මේවාට විරුද්ධව විවිධ පියවර ගෙන ඇතත් ඒවායේ අවසන් ප‍්‍රතිඵල සතුටුදායක නැත.

    සියලු සමුද්‍රාශ‍්‍රිත රාජ්‍ය ඔවුන් විසින් තමන්ට අයත් වෙරළ පෙදෙස්වලට මායිම් වූ තම පූර්ණ බලතල භාවිත කළ හැකි නාවික ප‍්‍රදේශයකට උරුමකම් කියන බව විශ්වීය වශයෙන් පිළිගෙන තිබේ. කෙසේ වුවද මෙම සීමාව ඉක්මවා තිබෙන මහ මුහුද කවර හෝ රාජ්‍යයක පාලනයට යටත් නොවේ. බොහෝමයක් මත්ද්‍රව්‍ය රට තුළට නීති විරෝධි අයුරින් ගෙන එන්නේ දේශසීමා සමුද්‍ර තීරයට ඔබ්බෙන් තිබෙන මුහුදු මාර්ගයන් හරහාය.

    මෙම නීතිමය හිඩසට සාමූහික වශයෙන් ඉන්දියානු සාගර කලාපීය සංගමය තුළින් විසඳුම් ඇතිකළ යුතු යැයි මා යෝජනා කරන අතර එය නාවික ගමනාගමන නිදහස පිළිබඳ ප‍්‍රතිපත්තියට අනුකූල විය යුතුයි.

    අප අද මෙහි රැස්ව සිටින්නේ ඉන්දියානු සාගර කලාපීය සංගමයේ භුමිකාව කි‍්‍රයාකාරී සංවාදයක් සඳහා වූ එකමුතුවක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම සංගමය එකගවන කි‍්‍රයාකාරී සැලැස්ම අනුමත කිරීමටයි.

    ශී‍්‍ර ලංකාව දිවයිනක් වීම හේතු කොට සෑමවිටම ඉන්දීය සාගර කලාපය පිළිබඳ උනන්දුවක් පැවතිනි. මෙම සන්දර්භය තුළ ඉන්දියානු සාගර කලාපීය සංගමය නිසැකවෙම කලාපය තුළ ශී‍්‍ර ලංකාවේ සහයෝගීතාවය වර්ධනය සඳහා මුලපිරීමක් වනවා මෙන්ම ඉන්දියානු සාගරයේ පිහිටීමේ සැබෑ ප‍්‍රතිලාභයන් තවදුරටත් අත්කර ගැනීමට ඉවහල් වනු ඇත.

    ඉන්දියානු සාගර කලාපය තුළ ශ‍්‍රී ලංකාවේ ස්ථානය නැවත ශක්තිමත් කරලීමට, ජාතික සමගි රජය විසින් පියවර ගණනාවක් ක‍්‍රියාත්මක කොට ඇත. වෙළෙඳාම, සංචාරක කර්මාන්තය, ප‍්‍රවාහනය හා යටිතල පහසුකම් සඳහා කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්වීම තුළින් ගෝලීය සම්පත් මාවතට ප‍්‍රවේශ වීමේ පැහැදිළි ප‍්‍රතිපත්තියක් අපට ඇත.

    මම අද මෙම රැස්වීමේ වැදගත්කම පිළිබඳ නැවත වරක් ප‍්‍රකාශ කරමින් මාගේ කතාව අවසන් කිරීමට කැමැත්තෙමි. නාවික ආරක්ෂාව හා සම්බන්ධිත ගැටලු, අභියෝග හමුවේ මෙම රැස්වීම සහයෝගීතාව වර්ධනය උදෙසා දැනට ක‍්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සමාලෝචනයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

    අපගේ සංවාදය, අප කලාපයේ ජනතාවගේ ජීවිත නගා සිටුවීමට හා අපේක්ෂිත ප‍්‍රගතිය සාක්ෂාත් කරගැනීම උදෙසා ක‍්‍රමෝපායන් හඳුනා ගැනීමට සහාය වනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මෙම සමුළුවේ ප‍්‍රතිඵල කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, සාමය, ආරක්ෂාව හා සමෘද්ධිය වැඩිදියුණු කරලීම උදෙසා ප‍්‍රත්‍යක්ෂ ක‍්‍රියාමාර්ග බවට පරිවර්තනය කරනු ඇතැයි මම විශ්වාස කරමි.

    ස්තුතියි"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya