අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි මාසයේ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක්

    මාර්තු 30, 2016

    විප්ලවයට අකමැති ප්‍රතිගාමීන් කෙතරම් කෑ ගැසුවත් අලුත් පාසල් අධ්‍යාපන ක්‍රමය මැයි මාසයේ ඉදිරිපත් කරමින් අධ්‍යාපන විප්ලවය ඉදිරියටම ගෙන යාමට පියවර ගෙන තිබෙන අතර දරු දැරියන් ක්‍රීඩාව ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද යොමු කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පළාත් සභා සහ අධ්‍යාපන කාරක සභා සමඟ මුලින් සාකච්ඡා කිරීමට ද තීරණය කර තිබෙන බවයි.

    ඉදිරි අවුරුදු 10 ඇතුළතදී සියලුම පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කළ යුතු බවත් උසස් පෙළ සඳහා විද්‍යාව සහ ගණිතය ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සීමා සහිත බැවින් සෑම මහා විද්‍යාලයකම උසස් පෙළ සඳහා විද්‍යාව සහ ගණිතය ඉගැන්වීමේ පහසුකම් ඇති කළ යුතුව බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    තව ද ඉංග්‍රීසි භාෂාව පමණක් නොව චීන, ජපන් සහ හින්දි වැනි භාෂා ද ඉදිරියේදී පාසල්වල ඉගැන්වීමට අවශ්‍ය කටයුතු යෙදිය යුතුව බව පෙන්වා දුන් ඒ මහතා අධ්‍යාපන අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීම සඳහා හොඳ ගුරුවරුන් පුහුණු කර ගත යුතු බව පෙන්වා දුන්නේය.

    කොළඹ රාජකීය විද්‍යාලයේ 'මාස්' අංගනය විවෘත කිරීමේ උත්සවයේදී අගමැතිවරයා මේ බව පසුගියදා පැවසීය.

    අගමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය.

    "කොළඹ රාජකීය විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ රොබට් විල්මට් හෝර්ට්න් ආණ්ඩුකාරතුමාගේ කාලයේදීයි. 1836 දී කොළඹ ඇකඩමිය ආරම්භ කිරීමට අනුමැතිය දුන් එතුමා ඊට අවුරුදු දෙකකට පෙර කෝට්ටේ ක්‍රිස්තියානි මහා විද්‍යාලයට ගිය අවස්ථාවේදී එම විද්‍යාලයේ සමරු පොතේ විශේෂ සටහනක් තැබුවා.

    රොබට් විල්මට් හෝර්ට්න් ආණ්ඩුකාරතුමා තැබූ ඒ සටහන වූයේ ඕනෑම ජාතියකට ලබාදිය හැකි හොඳම තෑග්ග වන්නේ තරුණ තරුණියන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම යන්නයි.

    යහපාලන ආණ්ඩුව ලෙස අප ඇපකැපවී සිටින්නේද අනාගත පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහයි. රටට හඳුන්වාදීමට යන අලූත් පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන අප මේ වන විට දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරමින් සිටිනවා. අපේ රටේ දියුණුව රදා පවතින්නේ අපේ අධ්‍යාපන ක්‍රමය මතයි.

    21 වැනි ශත වර්ෂයේ ලෝකයේ ප්‍රධාන රටවල් 50 අතරට රටක් ලෙස අප ද යා යුතුයි. අතීතයේදී අපේ රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබූ නමුත් අප ඒ අධ්‍යාපන ක්‍රමය අහිමි කර ගත්තා.

    කොළඹ රාජකීය විද්‍යාලයට ලැබී තිබෙන මෙම පහසුකම් පිළිබඳව අප සතුටු වන අතරම මේ පහසුකම් රටේ අනෙකුත් පාසල්වලටත් ලබා දෙන්නේ කෙසේද කියා අප සිතා බැලිය යුතුයි. එමෙන්ම රටේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එකහා සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි. එසේ නම් අපේ පාසල් පද්ධතිය සම්පුර්ණයෙන්ම දියුණු කළ යුතුයි.

    දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනය වෙනුවෙන් යොදවන බවට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී අප රටට ජනතාවට පොරොන්දු වුණා. රටේ මේ වන විට පවතින දළ දේශීය නිෂ්පාදනයෙන් නොව අවුරුදු 10 ක් ගතවීමට පෙර මෙම දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කර එමගින් 6% ක් අධ්‍යාපනය වෙනුවෙන් යෙදවීම අපේ බලාපොරොත්තුවයි.
     
    ඊට පෙර සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් කිහිපයක් අසමත් වුණා කියා කවුරුවත් අසාර්ථක වන්නේ නැහැ.
     
    සමහරුන් දක්ෂ නායකයින් වෙද්දී තවත් සමහරුන් දක්‍ෂ කලාකරුවන් වනවා. තවත් අය දක්‍ෂ ව්‍යාපාරිකයින් වෙද්දී සමහරුන් දක්ෂ කාර්මික ශිල්පීන් වේවි. ඇතැම් අය වෛද්‍යවරුන් ඉංජිනේරුවන්, නීතිඥයන් ඇතුළු වෘත්තිකයන් වෙද්දී තවත් සමහරුන් හොඳ පුරවැසියන් වශයෙන් ජීවත් වේවි.
    එසේ නම් අප කළ යුත්තේ අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිය දක්ෂතා එළිදක්වා ඒ අනුව ඉදිරියට යා හැකි පරිදි අවුරුදු 13 ක අනිවාර්ය පාසල් අධ්‍යාපනයක් අපේ දූදරුවන්ට ලබාදීමයි.

    දේශපාලන ඇඟිලි ගැසීම් සහ අතපෙවීම් නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය මුළුමනින්ම කුණු වී තිබෙන අතර ඒ තත්ත්වය අප වහාම අවසන් කළ යුතුයි. දේශපාලන තීන්දු පාර්ලිමේන්තුවෙන් දිය හැකි අතර ඒ තීන්දු ක්‍රියාත්මක කිරීම ප්‍රධානීන්ට භාර දිය යුතුයි.
    ඉදිරියට ගමන් කිරීම සඳහා අප අපේ සියලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ අවස්ථා ලබාදිය යුතුයි. එසේ නම් මේ වගේ අවස්ථා නොමැති පාසල්වලට අප වැඩිපුර සම්පත් ලබාදීමට ක්‍රියා කරනවා.

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික රාමුවක් ඇතුළත ජාතික අධ්‍යාපන අමාත්‍යංශය ලබාදෙන ප්‍රතිපත්ති සහ වැඩසහන් මත අධ්‍යාපනය ඉදිරියට ගෙන යන්නේ පළාත් අමාත්‍යංශවලිනියි. ඒ අනුව ජාතික අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය එකට වැඩ කළ යුතුයි.
    එම නිසා 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක්‍රියාත්මක කරමින් පළාත් අධ්‍යාපන මණ්ඩල සහ පාසල් අධ්‍යාපන මණ්ඩල ඇති කිරීම අපේ අරමුණයි.

    පාසල් අධ්‍යාපනයෙන් පසුව පශ්චාත් පාසල් අධ්‍යාපනය පිළිබඳව අප අපේ අවදානය යොමු කර තිබෙනවා. කොළඹරාජකීය විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක් මුල් කර ගනිමින් මෙම පශ්චාත් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම අපේ අරමුණයි. ආචාර්ය හර්ෂ ද සිල්වා සහ තිලක් කරුණාරත්න යන මහත්වරුන් සමග මේ අලූත් වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් අප දීර්ඝ වශයෙන් කරුණ සාකච්ඡා කරමින් සිටිනවා.
    මේ සියල්ල කිරීමට පෙර අධ්‍යාපන අමාත්‍යංශය හැදිය යුතු යැයි  මමත්, අධ්‍යාපන අමාත්‍යවරයාත් තින්දු කළා. අධ්‍යාපන අමාත්‍යංශයේ සමහර නිලධාරීන් එක තැන පල්වී අක්‍රිය වී සිටිනවා. එමනිසා ඒ අය එම ස්ථානවලින් ඉවත් කර රාජ්‍ය සේවයේ, පුද්ගලික අංශයේ, හමුදාවේ සහ පොලීසියේ දක්ෂ අය සම්බන්ධ කර ගෙන අවුරුදු දෙක තුනක් ඒ අයගෙන් උදව් ලබා ගෙන අධ්‍යාපනය වෙනුවෙන් විශාල පිම්මක් ඉදිරියට පැනිය යුතුයි.
    එසේ නම් අධ්‍යාපනයේ මේ දියුණුව වෙනුවෙන් අපි සියලූදෙනාම ඇපකැප වෙමු. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මට ලැබුණු අවස්ථාව රටේ සියලූම දූදරුවන්ට ලබාදීමට අප ඇප කැප වනවා.

    ගුණාත්මක සහ නවීන අධ්‍යාපනයක් ලබා ගනිමින් සිය බාහිර කුසලතාද වර්ධනය කර ගෙන ලෝකය ජය ගත හැකි අධ්‍යාපනයක් ඉදිරියේදී ලබා ගැනීමට අපේ දරුදැරියන්ට අවස්ථාව උදා කරදී තිබෙනවා. "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya