අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය බරින් මිරිකෙන ග්‍රීසිය

    ජූලි 07, 2015

    ඉතිහාසයේ ප්‍රෞඪ රාජ්‍යයක්ව වැජඹුණ, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටීස් වැනි මහා දාර්ශනිකයන්ට නිජබිම වූ ග්‍රීසිය අද වනවිට ආර්ථික ආගාධයේ පත්ල ස්පර්ශ කරන තරමට අර්බුදයට ගොස් සිටී. අර්බුදයේ ඉදිරි දිශානතිය තීරණය විය හැකි ජනමත විචාරණයක් හෙට පැවැත්වෙන අතර එරට බැංකු සහ කොටස් වෙළෙඳ පොළ සතියක් තිස්සේ වසා දමා තිබේ.

     

    ග්‍රීක ණය අර්බුදය හෙවත් ග්‍රීසියේ කඩාවැටීම වශයෙන් ප්‍රචලිත අර්බුදය ආරම්භවූයේ 2009 වසරේ අගභාගයේදීය. එය යුරෝ මුදල් ඒකකය භාවිත කරන යුරෝපා කලාපයට අයත් රටවල් 4කින් වාර්තාවූ ණය අර්බුද අතර පළමු වන්නයි. 2009 දී පළමුවරට ණය අර්බුදයක් පිළිබඳ අවදානම ඇතිවූ විට ණය ගෙවීමට ග්‍රීසියට ඇති හැකියාව පිළිබඳ ආයෝජකයන්ගේද බිය පළවිය.

     

    රාජ්‍ය ණය හා අය වැය පරතරය පිළිබඳ ප්‍රකාශිතව තිබූ දත්ත වැරැදි සහගත බව හෙළිදරව්වීමත් සමඟ විශ්වාසනීය බව පිළිබඳ ගැටලුවක්ද ඇතිවිය. 2012 වර්ෂය වනවිට ග්‍රීසිය ඉතිහාසයේ වැඩිම ණය පැහැර හැරීම් සහිත රාජ්‍ය බවට පත්ව තිබිණි. ඉකුත් ජුනි 30 වැනිදා වනවිට අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ණය වාරිකය ගෙවාගත නොහැකි වූ පළමු සංවර්ධිත රාජ්‍ය බවටද ග්‍රීසිය පත්විණි‍. එදින මධ්‍යම රාත්‍රියට පෙර ග්‍රීසිය යුරෝ බිලියන 1.6ක වාරිකයක් ගෙවීමට නියමිතව තිබුණද එය හිඟ වාරිකයක් ලෙස සටහන් විය‍‍.

     

    මේ වන විට එරට ණය යුරෝ බිලියන 323ක් දක්වා ඉහළ ගොස් ඇත‍.

     

    ණය සුරැකුම් ඇපකරය දීර්ඝ කරන ලෙසට යුරෝපා මුදල් අමාත්‍යවරුන්ගෙන් ග්‍රීසිය කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වීම අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ණය වාරිකය හිඟ වීමට හේතුවයි. අවසන් මොහොතේ ග්‍රීසිය කරන ලද ඉල්ලීම පිළිගැනීම වෙනුවට නව සුරැකුම් ඇපකරයක් තවත් දෙවසරක් සඳහා ලබාදීමට ඔවුහු සාකච්ඡා කරමින් සිටිති. ණය වාරිකය හිඟ වාරිකයක් ලෙස සටහන්වීමත් සමඟ ග්‍රීසිය යුරෝ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්වනු ඇතිද යන අවදානම ඇතිවී තිබේ.‍

     

    ණය වාරිකය හිඟවීම පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වූයේ ග්‍රීසියට තවදුරටත් ණය ලබාදිය හැක්කේ හිඟ වාරිකය ගෙවා අවසන් කිරීමෙන් පසුව බවයි. වාරිකය ගෙවාදැමීමට නියමිතව තිබූ කාලසීමාව දීර්ඝ කරන ලෙසට ග්‍රීසිය කරන ලද ඉල්ලීමද ප්‍රතික්ෂේප වී තිබිණි.

     

    යුරෝපීය මහ බැංකුව (ECB) මඟින් ගන්නා ලද ක්‍රියා මාර්ග හේතුකොටගෙන ග්‍රීක බැංකුවලටද බලපෑමක් ඇතිවිය. මේ වනවිට ඒවා වසා දැමීමට සිදුව ඇත. බැංකු මඟින් විශ්‍රාම වැටුප ලබා ගන්නා ග්‍රීක ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ අර්බුදය හේතුවෙන් බලවත් අපහසුවට පත්ව සිටී. බැංකු ඉදිරිපිට දිගු පෝලිම් දැකිය හැකිවිය. විශ්‍රාමිකයන් සඳහාද මුදල් ආපසු ගැනීමට සීමාවක් පණවා ඇති අතර එය වරකට යුරෝ 120කි. විශ්‍රාම වැටුප් ගෙවීමට පමණක් එක් දිනකට බැංකු විවෘත විය. ග්‍රීක රජය සංචාරකයන්ගෙන් ඉල්ලා ඇත්තේ බැංකු කාඩ්පත් නොව මුදල් රැගෙන එන ලෙසයි. යුරෝපා මහ බැංකුව සමඟ ඇති බැඳුම්කර අලුත්කළ යුතු දිනය ජූලි 20 වැනිදාය. එදිනට එය කිරීමට අපොහොසත් වුවහොත් ඉන් ලබා දෙන හදිසි ණය පහසුකම් ද ඇවිරෙනු ඇත.

     

    තම රට මත පැටවී ඇති අධික ණය බර පිළිබඳ අවධානය යොමු කරන අගමැති ඇලෙක්සිස් සිප්රාස් ගේ වාමවාදී ආණ්ඩුවේ අදහස එය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියකට යොමුකළ යුතු බවය. ණය දෙන්නන්ගේ කොන්දේසි පිළිගැනීමටද ග්‍රීක රජය සූදානම් නැති බව පෙනෙන්නට තිබේ. හෙට පැවැත්වෙන ජනමත විචාරණයේදී ද එය සැලකිල්ලට ලක්වනු ඇත. ජන මත විචාරණය ප්‍රධාන මත දෙකක් විමසීමට ලක්වන අවස්ථාවකි. එක් පාර්ශවයක් යුරෝ හිතවාදී ස්ථාවරයක සිටින අතර අනෙක් පාර්ශවය යුරෝ විරෝධී ස්ථාවරයක සිටියි. ණය දෙන්නන්ගේ කොන්දේසිවලට එකඟ නොවිය යුතු බව කියන එම විරෝධීන් සිටින්නේ ග්‍රීක රජය සමඟයි.

     

    ණය දෙන්නන්ගේ පීඩනය දැඩිවෙමින් තිබියදී කොන්දේසිවලට යටවීමට ග්‍රීක වැසියන් තුළ ඇති විරෝධය හෙට දැකගත හැකිවනු ඇත. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පසුගියදා කළ ප්‍රකාශයකින් ණය දෙන්නන්ගේ ස්ථාවරය පැහැදිලි වෙයි. ඇය කියා තිබුණේ ජනමත විචාරණය නිමාවන තුරු මේ පිළිබඳ ඉදිරි සාකච්ඡාවලට යොමුවීමෙන් වැළැකිය යුතු බවයි. මේ පසුබිම යටතේ ජනමත විචාරණය අහෝසි කළ යුතු බවටද මතයක් ඉදිරිපත් වීතිබිණි.

     

    ණය අර්බුදයෙන් ගොඩ ඒමට ග්‍රීසිය කළ යුත්තේ කුමක්ද? අමෙරිකානු භාණ්ඩාගාරය අර්බුදයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ යුරෝ කලාපයේ ම රැඳී සිටිමින් ග්‍රීසියට ආර්ථික වර්ධනය කරා ළඟා විය හැකි මාවතක් සාකච්ඡා මාර්ගයෙන්තෝරාගත යුතු බවයි. අර්බුදය හා සම්බන්ධ යුරෝපා කොමිෂම ග්‍රීක රජයට නිර්දේශ කර ඇත්තේ බදු වැඩි කළ යුතු බව සහ සුබ සාධන වියදම් කපාහැරිය යුතු බවයි.

     

    ණය වර්ගීකරණයට අදාළව ග්‍රීසිය ඉකුත් අඟහරුවාදා වනවිට ශ්‍රේණිගතව තිබුණේ CC මට්ටමේය. ඊට පෙර එය CCC මට්ටමේ තිබිණි. මේ තත්ත්වය යටතේ ස්වයංක්‍රීය මුදල් ලබාගැනීමේ යන්ත්‍ර ඉදිරිපිටද දිගු පෝළිම් දැකිය හැකිය. එක් ගනු දෙනුකරුවකුට දිනකට ආපසු ලබාගත හැකි මුදල් ප්‍රමාණය යුරෝ 60 දක්වා සීමා කර තිබේ.

     

    ග්‍රීක ණය අර්බුදයේ පීඩනය ජනයාට දැනෙමින් තිබියදී ණය දෙන්නන්ගේ කොන්දේසිවලට එකඟ විය යුතු බවට එනම් ජනමත විචාරණයේදී යුරෝ කලාපයට පක්ෂව ‘ඔව්’ යනුවෙන්. ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට වන මතයට ද පදනමක් නිර්මාණය වී ඇත. ඊට පක්ෂපාතී පිරිස් ග්‍රීක පාර්ලිමේන්තුව ඉදිරිපිටට පවා රැස්ව විරෝධතා පවත්වා තිබිණි.

     

    ඊට සමගාමීව එම ණය කොන්දේසිවලට එකඟ නොවිය යුතුය යන මත දරන එනම් ජනමත විචාරණයේදී ‘නැත’ යනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට පවසන පිරිස රජය සමඟ පෙළගැසී සිටිති. යම් හෙයකින් හෙට පැවැත්වෙන ජනමත විචාරණයෙන් ‘නැත’ යන මතය ජයගනු ලැබුව‍ෙහාත් එනම් ණය දෙන්නන්ගේ කොන්දේසි අනුමත නොකරන බව ප්‍රකාශ වුව‍ෙහාත් ග්‍රීසියට යුරෝ කලාපයෙන් බැහැරවීමට සිදුවනු ඇතැයි යුරෝපා නායකයෝ අනතුරු අඟවා සිටිති. කෙසේවෙතත් එවැන්නක් සිදුවීම අනවශ්‍ය බව අගමැති සිප්රාස් ද ප්‍රකාශ කර තිබේ.

     

    ජනමත විචාරණයේදී ‘ඔව්’ යන මතය ජයග්‍රහණය කළ යුතු යැයි ඔහු කියන්නේ නැත. ඔහුට අවශ්‍යව ඇත්තේ ණය කොන්දේසිවලට යට නොවෙමින්, තවදුරටත් යුරෝ ම මුදල් ඒකකය භාවිත කරන අතර ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම බව පෙනෙන්නට ඇත.

     

    ග්‍රීසිය වැඩිවශයෙන්ම ණය ලබාගෙන අත්තේ යුරෝ කලාපයට අයත් රටවලිනි. ඉන් එරට වැඩියෙන්ම ණය වී සිටින්නේ ජර්මනියට ය. එම මුදල යුරෝ බිලියන 68.2 කි. ප්‍රංශයට යුරෝ බිලියන 43.8 ක් ද ඉතාලියට යුරෝ බිලියන 38.4 ක් ද ස්පාඤ්ඤයට යුරෝ බිලියන 25ක්ද ග්‍රීසිය ණය වී සිටී. අන්තර් ජාතික මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය යුරෝ බිලියන 21.4 ක් සහ යුරෝපා මහ බැංකුවට ගෙවිය යුතු ණය යුරෝ බිලියන 18.1 ක් වශයෙන් සටහන් වී ඇත. මේ සංඛ්‍යා දත්ත දෙස බලනවිට පැහැදිලිව තේරුම්ගත හැක්කේ යුරෝ කලාපයට අයත් බලවතුන්ට ග්‍රීසියට බලපෑම් කළ හැකි තරමයි.

     

    ණය දෙන්නන්ගේ කොන්දේසි අතර වැට් බද්දක් අලුතෙන් හඳුන්වා දීම, අවන්හල්, භෝජන ශාලා, සකස්කළ ආහාර වර්ග ආදිය මත 23%කින් බදු ඉහළ දැමීම, අත්‍යවශ්‍ය ආහාර, විදුලිය, හෝටල් සහ ජලය සඳහා 13% කින් බදු අඩුකිරීම, ඖෂධ, පොත් පත් සහ රංගශාලා සඳහා 6% කින් බදු අඩුකිරීම වසර 2022 වන විට විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ දැමීම, විශ්‍රාමිකයන්ගෙන් අයකරනු ලබන සෞඛ්‍ය රැකවරණය සඳහාවන දායක මුදල 4% සිට 6% දක්වා ඉහළ දැමීම ආදිය තිබේ.

     

    ග්‍රීසියට ණය අර්බුදයෙන් ගොඩ ඒමට නම් ණය ගෙවීමේ හැකියාව පළමුව වර්ධනය කරගත යුතුය‍. ඒ සඳහා දළ දේශීය නිෂ්පාදනයේ නැඟීමක් ඇතිවිය යුතුය. දළ දේශීය නිෂ්පාදනයට අනුපාතිකව ණය බර විශාල වශයෙන් ඉහළ ගිය අයුරු ඉකුත් වසර කිහිපය තුළ ඇතිවූ ප්‍රවණතාවයි. ආදායම හා වියදම අතර පරතරය අවම කර ගැනීමද තවත් අවශ්‍යතාවකි. එය පමණ ඉක්මවා බදු ඉහළ දැමී‍මෙන් කළ නොහැකිය. එවිට ජනතාව ට අධික බදු බරක් පැටවෙන බැවිනි.

     

    ග්‍රීසියේ ආර්ථිකය හැසිරවීමට අදාළව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවිය යුතු බව පැහැදිලි වන්නේ 2000 – 2007 කාලසීමාව තුළ යුරෝ කලාපයේ වේගවත්ම ආර්ථික වර්ධනය සහිත රාජ්‍ය ග්‍රීසිය වූ බව කල්පනා කරන විටය. අදාළ වකවානුවේදී එම වර්ධන වේගය 4.2%ක් පමණ විය. විදේශ ආයෝජන ගලා ඒම සිදුවුවද සෑම වසරකම අය - වැය පරතරය ඉහළ යාම ද ක්නට ලැබිණි. මීටත් පෙර පැවැති ආර්ථික තත්ත්වය වාර්තාගත අන්දමින් සුබදායකය. 1960- 1973 වකවානුවේ අය වැය අතිරික්තයක් තිබිණි. එනම් වියදමට වඩා ආදායම වැඩිවිය. 1974 – 1980 වකවානුවේ අය - වැය හිඟයක් වාර්තා වුවද එය 3%ට වඩා අඩු ම ට්ටමක තිබිණි. 1981 පටන් මේ දක්වා එය ක්‍රමයෙන් ඉහළ ගිය අතර ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන හේතු සාධකයක් බවට මේ වනවිට පත්වී ඇත.

     

    නොපමාව මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ‍තේරීමට ග්‍රීසිය අසමත් වුවහොත් එරට අනාගතය අඳුරු ය. බලවත් රටවල හා මූල්‍ය ආයතනවල ණය කොන්දේසි ඊට කොතෙක්නම් පිටු බලයක් වනු ඇත්ද යන්න එහිදී නිරාකරණය කරගත යුතු එක් ප්‍රධාන කාරණයක් බවට පත් වනු නිසැකය.

     

     

    උපුටා ගැනීම - දිනමිණ අන්තර්ජාල පුවත්පත
                     ධම්මික සෙනෙවිරත්න

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya