නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධායක ජනාධිපති ක්‍රමය ස්‌ථිරවම අහෝසි කරනවා එය මගේ ප්‍රධාන අරමුණයි

    මාර්තු 19, 2015

    - මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

    අනුර සොලමන්ස්‌

     

    තමා බලයට පත් වූ අරමුණුවලින් ප්‍රධාන අරමුණක්‌ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බවත් එය ස්‌ථිර වශයෙන් ම කරන බවත් ඊයේ (18 දා) උදේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් හමු වූ අවස්‌ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

     

    19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු මැතිවරණයකට යන අතර, තම පක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට මෙන්ම තමන්ට බලයට පත් වීමට උපකාර කළ එක්‌සත් ජාතික පක්‍ෂයට ද අකෘතඥ නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.එතුමා තවදුරටත් මෙසේද කියා සිටියේය 1978 දී හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය ගැන මුල සිටම බලවත් විරෝධයක්‌ ඇතිව තිබුණා. 18 වන සංශෝධනය බලාත්මක කළ පසු එම ක්‍රමය තවදුරටත් අප්‍රසාදයට ලක්‌ වුණා. මා බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නයි. එය මගේ ප්‍රධානතම අරමුණක්‌. මා බලයට පත් වීමෙන් පසු කිසිදු පක්‍ෂයක ඉල්ලීමකින් හෝ බලපෑමක්‌ නැතිවම ජනාධිපති ධුරයේ නිල කාලය වසර 6 සිට 5 දක්‌වා අඩු කළා. පාර්ලිමේන්තුවේ නිල කාලයත් වසර 5 දක්‌වා පහළ ගෙනාවා. මා දන්නා තරමින් ලෝකයෙ කිසිදු රටක ජනාධිපතිවරයකුගේ නිල කාලය අවුරුදු 6 ක්‌ වන්නේ නැහැ. එය එක්‌කෝ වසර 5 යි. නැත්නම් 4 යි.

     

    "මා වසර 45 ක්‌ පමණ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ කෙනෙක්‌. විවිධ දේශපාලනඥයන් අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් සමඟ මා සමීපව කටයුතු කර තිබෙනවා. ආණ්‌ඩුවක්‌ කරන විට මුහුණ දෙන ගැටලු ගැන මට අත්දැකීමෙන් ම ලැබුණු අවබෝධයක්‌ තිබෙනවා. මා පසුගිය මාස 2 ක තුළ කටයුතු කළේ ඒ අත්දැකීම් හරහායි. ජාත්‍යන්තර අභියෝග රැසක්‌ අපේ රටට තිබෙන බව මා එම මාස 2 තුළ දැක්‌කා. මා හමුවීමට පිටරටවල ආණ්‌ඩුවලින් නියෝජිතයන් විශාල වශයෙන් ආවා. එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් ආවා. 16 වැනිදා ස්‌විස්‌ටර්ලන්තයේ විදේශ ඇමැතිතුමා පැමිණියා. ඔහු ඒ රටේ හිටපු අගමැති. එදිනම පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායක රැස්‌වීමේදී මා කියා සිටියා අප වතුර රත්වන තුරු නටමින් සිටින කකුළුවන් හා සමානයි කියලා. එයට හේතුව පෙර කී නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ විට අප කොතරම් අභියෝග සහ පීඩනයන් සහිතව සිටින රටක්‌ ද කියන කාරණය තේරුම් ගෙන සිටි නිසයි. යුද්ධය අවසන් වී වෙඩි හඬ නැවතුනාට ඒ වෙඩි පිටුපස සිටි අයගේ මතවාද තවමත් අවසන් වී නැහැ. සියලු ජන කොටස්‌ එක්‌ තැනකට (එක්‌ ස්‌ථාවරයකට) පැමිණිය යුතුයි.

     

    පසුගිය බ්‍රිතාන්‍ය සංචාරයේදී එළිසබත් මහ රැජන, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බ්‍රිතාන්‍ය විපක්‍ෂ නායක ඩේවිඩ් මිලිබෑන්ඩ් හමුවීමට මට හැකි වුණා. ඔවුන් එදා මට දුන් පිළිගැනීම ලංකාවේ රාජ්‍ය නායකයකුට කලකින් ලැබුණු ඉහළම මට්‌ටමේ පිළිගැනීමක්‌. එංගලන්තයේ ඩවුනිං වීදියේ අංක 10 දරණ තැන පිහිටි අගමැති නිවස වෙත මා රැගත් රථය ගිය විට අගමැති කැමරන් රිය අසලටම ඇවිත් මා පිළිගත්තා. පොදු රාජ්‍ය මණ්‌ඩලීය උළෙලට පැමිණි වෙනත් නායකයන් පිළිගැනීමේදී එළිසබත් රැජන අතට අත දුන්නේ අත්වැසුම් දමාගෙන. එහෙත් මාත් මාගේ බිරිඳත්, එතුමිය හමුවූ විට අත්වැසුම් නැතිව අපේ අතට අත දී මහත් ගෞරවයක්‌ පුද කළා. මෙය කලාතුරකින් ලැබෙන ගෞරවයක්‌ බව එදා සමහරු කීවා. එළිසබත් රැජන අපේ රටේ අභ්‍යන්තර කටයුතු ගැන විශාල අවබෝධයකින් සිටින කෙනෙක්‌. මා ලන්ඩනයට ගිය විට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් 400 ක්‌ පමණ සටන් පාඨ පුවරු ඔසවාගෙන විරෝධය පළ කළා. මා ඔවුන්ට ආචාර කළා. මා මහ රැජන හමුවූ විට එතුමිය මගෙන් ඇහුවේ එදා කෑ ගහපු අය ලංකාවේ අලුත් ආණ්‌ඩුවක්‌ තිබෙන බව නොදන්නවාද යන්නයි.

     

    ලන්ඩනයේදී මා හමුවීමට දෙමළ ඩයස්‌පෝරා කණ්‌ඩායම්වලට වුවමනා වුණා. ඊළාම්වාදීන් හැර සෙසු දෙමළ පිරිස්‌වලට මා කතා කළා. ඔවුන් මට කීවේ මේ ටිකයි. “ජනාධිපතිතුමනි, දෙමළ ඩයස්‌පෝරාව කියා අපට කියන්න එපා. අප කැමතියි ලංකාවට එන්න. රටත් සමඟ එක්‌ව වැඩ කරන්න. අපි ඊළමක්‌ ඉල්ලන්නේ නැහැ." මා එවිට ඔවුන්ට කීවා අපි අනාගතයේදී හමුවී සාකච්ඡා කරමු කියලා. අපගේ ජීවිත කාලය තුළදී යුද්ධයක්‌ නැවත ඇති වීම වැළැක්‌වීමේ අභියෝගය අපට තිබෙනවා. මා එහෙම කියන්නේ යුද්ධයකට සූදානමක්‌ තිබෙන නිසා නොවෙයි. එවැනි කිසිදු ප්‍රශ්නයක්‌ නැහැ.

     

    මාධ්‍ය නිදහස ගැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා මෙසේ කීවේය. "මා මාධ්‍ය නිදහස අගය කරනවා. එහෙත් නිතර මාධ්‍ය මගින් පෙනී සිටින්න ආසාවක්‌ මට නැහැ. නිදහසේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය තිබිය යුතුයි. පාර්ලිමේන්තුව තුළදී පවා හෘද සාක්‍ෂියට එකඟව නිදහසේ කතා කිරීමේ අයිතිය සුරක්‍ෂිත කළ යුතු බව මා විශ්වාස කරනවා. හැබැයි කිසියම් ප්‍රශ්නයකදී පක්‍ෂයේ සාමූහික තීන්දුවට අනුව ඡන්දය පාවිච්චි කළ යුතුයි."

     

    ව්‍යවස්‌ථා සංශෝධනය ගැන මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය. "අප ආණ්‌ඩුව විසුරුවන්නේ ව්‍යවස්‌ථා සංශෝධනයට පසුවයි. පළමු ඡන්ද පොරොන්දු 19 වන සංශෝධනයයි. සංශෝධනය සම්මත වූ පසු ආණ්‌ඩුව විසුරුවීම ගැන තීරණයක්‌ ගන්නවා. සංශෝධන කෙටුම්පත සති 2 ක්‌ සඳහා වත් මහජන අදහස්‌ සඳහා විවෘතව තැබිය යුතුයි. අප යන්නේ ජනතාවගේ ප්‍රශ්නවලට මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදෙන ගමනක්‌.

     

    මන්ත්‍රීවරුන් පක්‍ෂ මාරු කිරීම, මනාප ක්‍රමය අහෝසි කිරීම සහ ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රීවරුන් පත් කිරීම ගැන ජනාධිපතිතුමා මෙසේ අදහස්‌ පළ කළේය. "පක්‍ෂ මාරු කිරීමට මන්ත්‍රීවරුන්ට නිදහස තිබිය යුතු බව කියන අය මෙන්ම එසේ නොකළ යුතු බව කියන අයත් සිsටිනවා. මේ කාරණය සාකච්ඡා මට්‌ටමේ පවතින්නක්‌. එහෙත් මනාප ක්‍රමය අහෝසි කළ යුතුමයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ මනාප ක්‍රමය අහෝසි කරලා මැතිවරණයකට යායුතු බවයි. ඒ අතර කේවල ඡන්දය සහ මනාපය යන දෙකම මිශ්‍ර කරන ඡන්ද ක්‍රමයක්‌ තිබිය යුතු බවටත් අදහසක්‌ තිබෙනවා. එහෙත් මේ මනාපය ගණන් ගත යුත්තේ දේශපාලන පක්‍ෂ මට්‌ටමින් ද නැත්නම් දිස්‌ත්‍රික්‌ පදනමකින් ද කියා තෝරා බේරා ගත යුතුයි. මොකද දේශපාලන පක්‍ෂ පදනමට ගියොත් අක්‍රමිකතා ඇති විය හැකියි. මේ ප්‍රශ්නය ගැන දැන් සංවාදයක්‌ පවතිනවා. තවත් කාරණයක්‌ තමයි ජාතික ලැයිස්‌තුව. 1978 ව්‍යවස්‌ථාවෙන් හඳුන්වා දුන් ජාතික ලැයිස්‌තුවේ අරමුණ ඉටුවූයේ නැහැ. එය ඉටු වූ එකම අවස්‌ථාව ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ඇමැතිවරයකු වීම විතරයි.

     

    අප මෙවර ජනාධිපතිවරණයට ආවේ පෙරමුණක්‌ විදියට. මා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වූ අතර පක්‍ෂ සහ සංවිධාන 49 ක්‌ විතර අපට සහය පළ කළා. මා එදත් ඡන්දයට ගියේ ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් විදියටයි. ඒ බව මා වේදිකාවේදීත් කිව්වා. ඉන් පසු ශ්‍රීලනිපය මා පක්‍ෂයේ සභාපති කළා. සන්ධානයේ නායකයා කළා. මේ කිසිවක්‌ බල කරලා ගත්ත දේවල් නෙවෙයි. මේවා බල කරලා ගන්නත් බැහැ. මා ඉදිරි මැතිවරණයේදී මට බලයට ඒමට උපකාර කළ එජාපයට අකෘතඥ වන්නේ නැහැ. කෙසේ වුවද අප එන ඡන්දයේදී ජාතික ආණ්‌ඩු මතයේ සිට තරග කළ යුතුයි. තුන්වන පන්තියේ විවේචන මගේ නැහැ. අශීලාචාර දේශපාලනයකට මා යොමු වන්නේ නැහැ. මහනුවර රැස්‌වීමකදී කට්‌ටියක්‌ කියනවා ජාතික ආණ්‌ඩුවක්‌ හදන්නේ ඇමැති කෑලි ලබා ගන්නටයි කියලා. එහෙත් අපේ රට දැනට මුහුණ දී තිබෙන අර්බුද සහ අභියෝග ගැන දන්න හැම කෙනෙකුම ජාතික ආණ්‌ඩුවකට එකඟ වනවා ඇති. අපි ජීනීවා මානව හිමිකම් ප්‍රශ්නය සැප්තැම්බරයට කල් දා ගත්තා. තව ප්‍රශ්න වැලක්‌ තිබෙනවා. මේ ප්‍රශ්න විසඳ ගන්න නම් ඉදිරි ඡන්දෙන් පස්‌සේ වසර 2 ක්‌ වත් ජාතික ආණ්‌ඩුවකට යා යුතුයි.

     

    ශ්‍රීලනිපයේ ඉදිරි දේශපාලනය ගැන පැහැදිලි කරමින් ජනාධිපතිතුමා මෙසේ කීය. "ඡේ. ආර්. ප්‍රේමදාස මහතා පක්‍ෂය සහ ආණ්‌ඩුව භාරදීමෙන් පස්‌සේ ඒ වැඩවලට කිසිදු විදියකට මැදිහත් වුයේ නැහැ. 2005 දී චන්ද්‍රිකා ආණ්‌ඩුව භාර දුන්නායි පස්‌සේ ඒ වැඩවලට මැදිහත් වුණා තබා වැඩි වශයෙන් රටේවත් හිටියේ නැහැ. ඒ වගේ මේ පක්‍ෂයේ ඉදිරි කටයුතුවලට සහය වීමට ඕනෑම කෙනෙකුට පුළුවන්. මට පක්‍ෂය භාර දී තිබෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට පක්‍ෂයට සහය දිය හැකියි."


    උපුටා ගැනීම - දිවයින පුවත්පත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya