ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරයේ කළමණාකරණ මණ්ඩලය සාමාජිකයින් 17 දෙනෙකු නියෝජනය කරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ නියෝජිතවරයකු, සමාජසේවා විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ නියෝජිතයකු, මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ නියෝජිතයකු, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා හෝ නියෝජිතයකු, මහා භාරකාරවරයා හෝ ඔහුගේ නියෝජිතයකු, මහනුවර දිස්ත්‍රික් ලේකම්, මධ්‍යම පලාතේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, දොළුව ප්‍රාදේශීය ලේකම් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ හෝ නියෝජිතයකු, නිල බලයෙන් මෙම මණ්ඩලයට පත්වේ.
මෙම අවස්ථාවට ත්‍රෛයිනිකායික මහනායක ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් නම් කරන ලද ස්වාමීන්වහන්සේලා වැඩමකර සිටි අතර උන්වහන්සේලා අතරින් මහානායක ස්වාමීන්වහන්සේලාගේ සම්මතයෙන් එක් ස්වාමීන්වහන්සේ නමක් මෙම මණ්ඩලයේ සභාපතීත්වයට තෝරා ගැනීමද සිදුවිය.
ඒ අනූව අස්ගිරි මහා විහාර පාර්ශවයේ කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝණායක, කර්මාචාර්ය ශ්රාස්ත්රපති පණ්ඩිත පූජ්‍ය දෙල්තොට ධම්මජෝති ස්වාමීන්වහන්සේ ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරයේ කළමණාකරණ මණ්ඩලයේ සභාපතිධූරයට පත් කර ගන්නා ලදී.
එමෙන්ම සෞඛ්‍ය, සුභසාධනය, මානව සම්පත, මුදල් හා පරිපාලනය සදහා වෙන වෙනම කමිටු පත් කර ගැනීමටත්, එමෙන්ම කළමණාකරණ මණ්ඩලය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් එළැබෙන මාසයේදී රැස්වී අවශ්‍යය කඩිනම් ඉදිරි ක්‍රියමාර්ග ගැනීමට කතිකාවතක නිරත වීමටත් මෙහිදී තීරණය කෙරිණි.
රෝගී හා අසරණ භිකෂූන් වහන්සේලාගේ යහපත සදහා ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයේ පරමාර්ථ ඉටුකර ගැනීමට සහ එ් හා සම්භන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්භන්ධයෙන් ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය යනුවෙන් හදුන්වනු ලබන භාරයක් පිහිටුවීමට කටයුතු කෙරිණි. එය 2023 අංක 31 දරන ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත වේ.
මෙම කළමණාකරණ මණ්ඩලයේ පළමු සැසිවාරය ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුලු පිරිස මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී.
එහිදී මහ නා හිමිවරුන් විසින් ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයේ අභිවෘද්ධිය උදෙසා ඉටුකල යුුතු කාර්යයන් සදහන් කර ඇති සංදේශ දෙකක් ලේකම්වරයාට භාරදෙන ලද අතර එහි සදහන් කාරනා පිළිබදව අවධානය යොමු කර කටයුතු කරන ලෙසට අනුශාසනා කර සිටියේය.
රෝගී හා අසරණ භික්ෂූන් වහන්සේලාගේ යහපත සදහා වන ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් ගත යුතු සෑම ඉදිරි පියවරක්ම ගෙන කටයුතු කරන බව සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන් හමුවේ කියා සිටියේය.