මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මගින් පැන නැගී ඇති ගැටළු පිළිබඳව ගැඹුරින් විමර්ශනයකර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දැනුම්දීම මත මෙම සාකච්ඡාව පවත්වන ලදි.
ඒ අනුව අකුරැස්ස, මාලිම්බඩ හා තිහගොඩ ඇතුළු දැනට අධික ව්‍යාප්තියක් පෙන්නුම් කරන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල යෝධ නිදිකුම්බා ශාක ඉවත් කිරීම හා අදාළ පුරන් කුඹුරු අස්වැද්දීම කෙසේ සිදු කළ යුතු ද යන්න පිළිබඳව මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.
ලෝකයේ හා ලංකාවේ දරුණුම ආක්‍රමණශීලී ශාක ලැයිස්තුවල ඉහලින්ම සිටින යෝධ නිදිකුම්බා ශාකය ලංකාවේ පරිසර පද්ධති වලත් සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන, දේශීය ජීවී විශේෂ වලට දැඩි බලපෑමක් එල්ල කරන ශාකයකි. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් Giant_Mimosa ලෙසත් උද්භිද විද්‍යාත්මකව Mimosa_pigra ලෙසත් හඳුන්වයි.
ආක්‍රමණශීලී යෝධ නිදිකුම්බා ශාකයේ නිජබිම වන්නේ දකුණු ඇමෙරිකාවයි. අද වනවිට ලෝකයේ නිවර්තන දේශගුණයක් පවතින සෑම රටකම පාහේ මෙය ආක්‍රමණශීලී ලෙස ව්‍යාප්තව පවතී. මෙම ශාකය මුල්වරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනුනේ 1977 වසරේ දී ය.
යෝධ නිදිකුම්බා ශාකයක් උපරිම වශයෙන් මීටර් 06 ක් පමණ උසට වර්ධනය වේ. සාමාන්‍යයෙන් පොළොව මට්ටමට ඉහළින් දක්නට ලැබෙන සමාන ප්‍රමාණයේ කඳන් කිහිපයකින් සමන්විත කාෂ්ඨීය ශාකයකි. කඳ නොමේරූ යෝධ නිදිකුම්බා ශාකය කොළ පැහැයෙන් යුක්තයි. මේරූ ශාකය දුඹුරු පැහැයට හුරු වර්ණයක් ගනී. සංයුක්ත පත්‍රවලින් සමන්විත වන මෙම ශාකයේ කඳෙහි මිලි මීටර් 06 ත් 10 ත් අතර ප්‍රමාණයේ උල් කටු දැකගත හැකි ය. මුදුන් මුල මීටර් 03 - 05 ක් පමණ පොළව ගැඹුරට විහිදේ.
පරාගණයෙන් අනතුරුව මෙම ශාකයේ සෑම පුෂ්ප මංජරියකම තද කොළ පැහැති කරල් 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. එක් යෝධ නිදිකුම්බා ශාකයක් සිය සජීවී කාලය තුළ දී බීජ 200 0ත් 200,000 ත් අතර ප්‍රමාණයක් නිපදවයි. විශාල බීජ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සමත්වීම යෝධ නිදිකුම්බා ශාකය ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීමට ප්‍රධාන හේතුවක් වේ.
යෝධ නිදිකුම්බා ශාකය පරිසර පද්ධතීන් තුළ සාර්ථක පැතිරීමක් පෙන්නුම් කරන අතර එම සාර්ථක ව්‍යාප්තිය සඳහාම වූ විශේෂිත අනුවර්තන කිහිපයක් මෙම ශාකයේ බීජවල දැකගත හැකි ය.
බීජයකට වසර 30 ක් පමණ කාලයක් පැලවීමේ ශක්‍යතාවයෙන් යුතුව නිරුපද්‍රිතව පැවතිය හැකි ය. බීජ කරල් කටු සහිතව පවතින බැවින් සතුන්ගේ ලෝමවල ඇලීමෙන් තැනින් තැනට ව්‍යාප්ත වේ. මෙම බීජ ආහාරයට ගන්නා ගවයන් වැනි සතුන්ගේ මාර්ගයෙන් ද බීජ ව්‍යාප්ත වීම සිදු වේ. සතුන් මෙම බීජ ආහාරයට ගත්ත ද එම බීජ වලට කිසිදු හානියක් සිදු නොවන අතර වසුරු පිටකිරීමේ දී ඒ සමඟ ව්‍යාප්තිය සිදු වේ. මෙම බීජ ඉතාම සැහැල්ලු ස්වභාවයකින් යුක්ත වන නිසා ජල මාර්ග වෙත බීජ වැටීමෙන් දිගු දුරක් මෙන්ම දිගු කාලයක් පාවී යාම තුළින් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වේ. බීජ ප්‍රරෝහණය වීමෙන් පසුව ශාකය පරිණත අවධියට පත්වීම සඳහා ගතවන්නේ මාස 03 – 04 ක තරම් කාලයකි.
ලංකාවේ ප්‍රදේශ ගණනාවක්ම මෙම ආක්‍රමණික ශාකයේ ග්‍රහණයට ලක්වී අවසන් ය. මහවැලි ගඟ ආශ්‍රිත කලාපයේ පවතින ජලජ පරිසර පද්ධති ආශ්‍රිතව සුලභව මෙම ශාකය ව්‍යාප්ත වී ඇත.
යෝධ නිදිකුම්බා ශාකය මෙරට පරිසර පද්ධති තුළට සංක්‍රමණය වීම හේතුවෙන් මේ වනවිට විශාල පාරිසරික බලපෑම් ප්‍රමාණයකට මුහුණදීමට සිදුව තිබේ. දේශීය ආවේණික ශාක හා සත්ත්ව විශේෂයන්ට ඉතා අහිතකර බලපෑම් මතු කිරීම, පරිසර පද්ධතීන්වල ප්‍රමුඛ ජීවියා බවට පත්වීම, ආහාර දාම සහ ආහාර ජාලයන් වෙත බලපෑම් එල්ල කිරීම, කෘෂිකාර්මික බිම් සහ ජලාශ ඉවුරු ආක්‍රමණය කිරීම, පසේ පෝෂණ තත්ත්වයන්ට හානි කිරීම, ජල මූලාශ්‍ර වෙත ප්‍රවේශවීමේ අපහසුතා නිර්මාණය කිරීම, පාරිසරික නිකේත තත්ත්ව විනාශ කිරීම ඒ අතර වේ.
මේ අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කංචනා තල්පාවිල මහත්මිය, මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය, අදාළ කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු කෘෂි කර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කෘෂිකර්ම මගින් රැසිවීම සංවිධානය කරන ලදි.