මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ , කෘෂි කර්ම අමාත්‍යවරයා හා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සාමාජිකයින් අතර ඊයේ (20) ගොවි ගැටලු පිළිබඳ පැවති සාකච්ඡාවක දීය.
එහිදී එම ගොවි සංවිධානය, අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යෝජනා මාලාව
අතර ප්රමුඛ යෝජනාවක් වුයේ මේ වනවිට සෑම වසරකම නියඟය, ගංවතුර සහ වනසතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ යමින් පවතින නිසා වගා හානියක දී දැනට අක්කරයක් සඳහා රජය විසින් කිසිදු දායකත්ව මුදලක් ලබා නොගනිමින් ගෙවනු ලබන රුපියල් 40,000ක වන්දි මුදල රුපියල් 100,000ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙසයි.
ඒ අනුව වගා හානි සිදුවන හෙක්ටයාර් එකකට රුපියල් 250,000ක වන්දි මුදලක් හිමි වේ.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා, මේ වනවිටත් වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් 100,000ක් වශයෙන් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් තමන් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය පළ වී ඇති බවත් සඳහන් කළේය.
මෙම වගා හානි වන්දි ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ නියඟය, ගංවතුර හා වන සතුන්ගෙන් සිදුවන වගා හානි සඳහා වන්දි ලබා දීම සිදු කෙරේ. ඒ අනුව කෘෂි රක්ෂණය වැඩ පිළිවෙළ යටතේ වී, බඩඉරිඟු, මිරිස්, ලූණු, සෝයා බෝංචි සහ අර්තාපල් යන බෝග වර්ග හය ආවරණය කෙරේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වගා හානි වන්දි ලබා දීමේ දී ගොවි ජනතාවගෙන් කිසිදු දායකත්ව මුදලක් අය නොකිරීමයි.
මෙම යල කන්නයේ අධික වර්ෂාව නිසා සිදුව ඇති වගා හානි සඳහා කඩිනමින් වගා හානි වන්දි ලබා දීම සඳහා තමන් කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව ආනයනික කෘෂි උපකරණ සඳහා රජය තීරු බද්දක් අය නොකරන බව කී අමාත්‍යවරයා , සියලු කෘෂි උපකරණ ආනයනය කිරීමේ දී සියලු බදුවලින් නිදහස් කිරීමට රජය පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය. අගය එකතු කළ බද්ද ඇතැම් කෘෂි උපකරණ සඳහා අය කළත් එම බදු මුදල් නැවත අය කර ගත හැකි වීමේ පදනම මත (Refundable) පනවා ඇති බව ද සඳහන් කළේය.
එමෙන්ම වගා හානි වන්දි ලබා දීම සම්බන්ධව රජයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළේ රජය විසින් බවත්, ඒ සඳහා ගොවීන් පාරට ඇද දැමීමට බලා සිටින ඇතැම් දේශපාලන පක්ෂවල ගොවි නියෝජිතයින් යැයි කියා ගන්නා පිරිස් හෝ මැදිහත් නොවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.