සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ප්‍රචාරණ කටයුතු විධිමත් ලෙස කළ යුතුයි

    අගෝස්තු 15, 2024

    මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් හෝ  වෙනත් ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් හෝ ඡායා රූප හෝ එවැනි චිත්‍ර, ඡන්ද ලකුණු , ධජ, පතාක හෝ ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීමක් පැවැත්වෙන දිනයකදී , එම  ස්ථානය අසල හෝ එම ස්ථානයේ විධිමත් ලෙස අවසර ලබා ගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සිමාවලට යටත්ව පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (15) මැතිවරණ නාම යෝජනා භාර ගැනීමෙන් පසු රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දි අදහස් දක්වමිනි.

    ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වැනි වගන්තිය යටතේ නාම යෝජනා දින සිට ඡන්දය අවසන් වනතෙක් අපේක්ෂකයෙකු තෝරා පත් කර ගැනිමේ ඉඩකඩ වැඩි කිරීම සඳහා හෝ තවත් අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම සඳහා ප්‍රචාරක පත්‍රිකා සහ අනෙකුත් දෑ ප්‍රදර්ශනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන කෙරෙහි  සියලුම අපේක්ෂකයන්ගේ අවධානය යොමු විය යුතු බවත් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයාට ලබා දී ඇති බවත් සභාපතිවරයා පැවසීය.

    එමෙන්ම නාම යෝජනා දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් වන බවත් මෙවැනි නීති විරෝධි පෙළපාලි පැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝගත කිරීම අධිකරණයට වාර්තා කර හැකි බව කී සභාපතිවරයා,  ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුත්තේ පොලීසීයේ අවසර ඇතිව පමණක් බවද සඳහන් කළේය.

    ඡන්දය ලබා ගැනීම සඳහා සංග්‍රහ කිරීම් අල්ලස් ලබා දීම් අයුතු බලපෑම් දූෂණ ක්‍රියා සේ සැළකෙන බවත් ආගමික වැඩසටහන් හරහා හෝ පූජනීය ස්ථානවල පවත්වන රැස්වීම් හරහා පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනයද අයුතු බලපෑම් යටතට ගැනෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

    රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා බැංකු සහ මණ්ඩල ආදී ව්‍යවස්ථාපිත ආයතනද පළාත් සභා හා පළාත් පාලන ආයතනද යන සියල්ල රාජ්‍ය ආයතන ලෙස සැළකෙන බව කී සභාපතිවරයා, මෙම ආයතනවල රාජ්‍ය දේපළ ජනාධිපතිවරණයේ දී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන හෝ අගතියට පත් කිරීමකට භාවිතා කිරීම සපුරා තහනම් බවද පෙන්වා දුන්නේය.

    එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධරයෙකුට ජනාධිපතිවරණයට අදාළ ඡන්දය දීම හැර වෙනත් කිසිදු  දේශපාලන ක්‍රියාවක නිරත විය නොහැකි බවත් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයින්ට පවා කාර්යාල වේලාව තුළ දේශපාලන කටයුතුවල නිරත වීම සිදු කළ නොහැකි බවත් කී සභාපතිවරයා, සෑම රජයේ නිලධරයෙකු, සේවකයෙකුම මැතිවරණ කොමිෂන් සභාව තුළින් 2024 ජූලි මස 26 දින නිකුත් කරන  ලද අංක 2394/56 දරණ ගැසට් පත්‍රය මඟින් නිකුත් කර ඇති  විධානවලට යටත් විය යුතු බවද කීය.

    එමෙන්ම මෙම විධිවිධාන සියලුම රජයේ සේවකයින් පිළිපැදීය යුතුය බවත් ඒ සම්බන්ධව ලිපි මඟින් මෙන්ම විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත් එම විධාන කඩ කිරීමට කිසිදු නිලධාරියෙකු පෙළඹවිමක් නොකරන ලෙසත්  සියලුම අපේක්ෂකයින්ගෙන්, නියෝජිතයින්ගෙන්, අධාරකරුවන්ගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා සිටියේය.

    වැරදි නීති විරෝධි ක්‍රියා, දූෂණ ක්‍රියා හා මෙම විධාන උල්ලංඝණය කිරීම  වෙනුවෙන් ඇති දඬුවම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව දක්වා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya