නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 3000ක් රැකගැනීමට යෝජනාවලියක්

    අගෝස්තු 08, 2024

    දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තශාලා 3000ක් රැක ගැනීමට ඉදිරියේ දී සැළසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

     දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් මුහුණ දී සිටින ගැටළු පිළිබඳව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ඊයේ (07)  පැවති  සාකච්ඡාවේදී මේ පිළිබඳව උපදෙස් ලබා දී ඇත.

    දැනට අප රටේ වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,000ක් වන  අතර අප රට තුළ නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණි. ඉතිරි අවශ්‍යතාවය වන පොල්තෙල් මෙට්‍රික් ටොන් 250,000ක ප්‍රමාණය  පොල්තෙල්, පිරිපහදු කළ හා නොකළ තෙල් වශයෙන් මෙරටට ආනයනය කරනු ලබයි.

    දේශීය වෙළෙඳලළෙහි ආනයනික පොල්තෙල්වල මිල ගණන් අඩු මට්ටමක පවතින  අතර දේශීය පොල්තෙල්වල මිල ගණන් ඉහළ මට්ටමක පවතින බැවින් පාරිභෝගිකයා වැඩිපුර ආනයනික පොල්තෙල් පරිභෝජනයට යොමු වී ඇතී බැවත් තම කර්මාන්තශාලා පවත්වාගෙන යාම පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව ඇති බවද කර්මාන්තකරුවෝ මෙහිදී පැවසූහ.

    දැනට දේශීය පොල්තෙල් සඳහා අයකරනු ලබන වැට් බද්ද ඉවත් කරන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර අතර  අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට පොල්තෙල් සඳහා පනවා ඇති වැට් බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විශේෂ සාකච්ඡාවක් කරන බවයි එමෙන්ම දේශීය පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා කර්මාන්තකරුවන් වශයෙන් ඔවුන්ගේ ඉල්ලිම් ඇතුළත් යෝජනාවලිය කඩිනමින්  සකස් කරන ලෙසටද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    සතියක් ඇතුලත මෙම යෝජනාවලිය තමන්ට ලබා දෙන ලෙසත්, ඉන් අනතුරුව එම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

    කෙසේ වුවද මේ වනවිට වෙළෙඳපළේ ඇති පොල්තෙල් හා අනෙකුත් පරිභෝජනයට ගන්නා තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව පාරිභෝගික ජනතාවට ගැටළුවක් ඇති බව කී  අමාත්‍යවරයා, වෙළෙඳපළෙහි අලෙවි කෙරෙන පාරිභෝජනයට සුදුසු පොල්තෙල් කුමක්දැයි පහසුවෙන් හදුනාගැනීම සඳහා පාරිභෝගිකයාට කිසිදු නිර්දේශයක් නොමැති අතර පාරිභෝජනයට සුදුසු පොල්තෙල් පහසුවෙන් හඳුනාගැනීම සඳහා සහතිකයක් සහ පොල්තෙල් ඇසුරුම් සඳහා ස්ටිකරයක් වහාම ඉදිරිපත් කරන්නැයි පොල් සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේය.

    පොල් සංවර්ධන අධිකාරිය විසින් පාරිභෝජනයට සුදුසු පොල්තෙල් හඳුනාගැනීම සඳහා තරු පහක සළකුණක් ( Five Star) නිකුත් කළ ද මේ සම්බන්ධව මහජනතාවට කිසිදු දැනුවත්භාවයක් නොමැති බව ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවෙ  දී පෙන්වා දුන්නේය.

    මෙම සාකච්ඡාවට පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya