විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, ඊයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් වයඹ නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, බටහිර නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නෞකාවක් යොදවා සිදු කෙරිණි. එහි දී, මන්නාරම දකුණු මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසි දෙදෙනා (22) කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.