කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉතාලිය යන රටවල රැකියා ලබා දෙන බව පවසා රුපියල් මිලියන 24 ට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක්, විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගිය දා කදාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදී. එම කාන්තාව විසින් කදාන ප්‍රදේශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය විසින් ඉහත රටවල රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැත. මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 19 ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාව ඊයේ (01) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ අතර, සීදූව, ලියනගේ මුල්ල ප්‍රදේශයේ කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව, විමර්ශන නිළධාරීන් විසින් ඊයේ දින අදාල ස්ථානය වැටලීම් කරන ලදී. එහි දී ජර්මනිය, ඩුබායි හා කැනඩාව යන රටවල රැකියා ලබාදීම සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 13ක් හා ජීව දත්ත පත්‍රිකා 11 ක් නිළධාරීන් භාරයට ගෙන තිබේ. අදාළ ස්ථානයේ හිමිකාරිය වූ සීදුව, අමන්දොලුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එහි දී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය ඊයේ (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
එසේම කැනඩාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා රු.1,452,000.00 ක මුදලක් වංචාකළ තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ද පසුගිය දා විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා ඔහු කාර්යාංශය වෙත කැඳවූ අතර, එහි දී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු එදින තලංගම පොලිස් ස්ථානයේ රඳවා ඊයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.